යුනියන් බැංකුවෙහි සන්නාමය වෙනස් වෙයි

මහ බැංකුවෙහි ලියාපදිංචි බලපත්‍රලාභී වානිජ බැංකුවක් වන යුනියන් බැංකුව සිය සන්නාමය වෙනසකට ලක් කර ඇතැයි පවසයි.

බැංකුවෙහි වැඩි කොටස් හිමිකාරීත්වය නේපාලයේ CG Corp Global සමාගම වෙත හිමිවීමෙන් අනතුරුව පත්  කෙරුණු නව කළමනාකාරීත්වය මගින් මෙම නව සන්නාම වෙනස සිදු කර තිබේ .

මෙම නව සන්නාමය එළිදැක්වීමේ අවස්ථාවක් පසුගියදා පැවැත්වුණූ අතර, ඒ සඳහා CG Corp Global සමාගමේ සභාපතිවරයා වන බිනෝද් චෞද්රි සහ යුනියන් බැංකුවෙහි වත්මන් සභාපති නිර්වාන් චෞද්රි ඇතුළු නියෝජිතයන් ඇතුළු පිරිසක්ද සහභාගි වී තිබේ.

මෙතෙක් කලක් යුනියන් බැංකුවෙහි සන්නාමය ලෙස පැවැති UB අක්ෂර දෙක නිරූපණය වන හැඩතලය එලෙසින්ම පවත්වාගෙන යමින්, එහි අක්ෂර සහ එහි හැඩය වෙනසකට ලක් කරමින් මෙම සන්නාම වෙනස සිදු කර තිබේ. එසේම නිල් සහ තැඹිලි පැහැයන්ද එලෙසින්ම පවත්වාගෙන ගොස් තිබේ.

මෙම නව සන්නාමය හරහා යුනියන් බැංකුවෙහි නව උපායමාර්ගික දර්ශනය සහ පරිවර්තනය පෙන්නුම් කරන බව එම බැංකුව පවසයි.

මෙහිදී සන්නාමයේ නිල් පැහැය මගින් තවදුරටත් විශ්වාසය, ස්ථාවරත්වය සහ වෘත්තීමයභාවය නිරෟපණය කරන බවත්, තැඹිලි පැහැය මගින් සර්වශුභවාදය, සෞභාග්‍යය සහ උණුසුම් බව නිරෟපණය වන බවත් බැංකුව සඳහන් කරයි.

කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත යුනියන් බැංකුවෙහි කොටස් හිමිකාරීත්වයෙන් 70.84%ක් හිමිව ඇත්තේ CG Corp Global සමාගම වෙතයි. Culture Financial Holdings Ltd සමාගම සතුව තිබූ එම කොටස් ප්‍රමාණය 2023 වසරේ ඔක්තෝබර් මාසයේදී මිලදී ගැනීමට CG Corp Global සමාගම පියවර ගත්තේය.

Visits: 0