මෙරට තුන්වන සියැට් CIDO අලෙවිසැල මිරිහානේ දී විවෘත කරයි

සියැට් කැළණි හෝල්ඩිංග්ස් සමාගම විසින් සිය තුන්වන CIDO හෙවත් සමාගම ආයෝජනය කළ නියෝජිතයා මෙහෙයවන (Company Invested Dealer Operated) අලෙවිසැල  මිරිහාන, පරණ කොට්ටාව පාරේ, අංක 17 ස්ථානයේ පිහිටි ප්‍රයිම් ටයර් හා ඔටෝ සර්විසස් හි දී පසුගිය දා නිළ වශයෙන් විවෘත කරන ලදී.

සියැට් CIDO අලෙවිසැල්, සියැට් නිෂ්පාදන වල ප්‍රමිතිය වැඩිදියුණු කිරීමට සමගාමීව සන්නාමයේ සුවිශේෂත්වය හා දෘෂ්‍යතාව වර්ධනය කිරීමට මෙන්ම හවුල්කාර අලෙවිසැල් තුළදී උසස් තත්ත්වයේ පාරිභෝගික අත්දැකීමක් ලබාදීම අරමුණු කරගනිමින් සියැට් විසින් නිර්මාණය කර ඇත. එය සියැට් සමාගමේ තුන් අවුරුදු බෙදාහැරීමේ ජාලයන් පුළුල් කිරීමේ උපාය මාර්ගයේ කොටසකි. තවද, මගී මෝටර් රථ හා SUV ටයර් සඳහා වන ‘ජර්මානු ඉන්ජිනේරු තාක්ෂණයෙන් නිපදවූ’ යන තේමාව පිළිබිඹු වන සියැට් හි නව සන්නාම සහ දර්ශන ප්‍රදර්ශනය කළ පළමු අලෙවිසැල, මිරිහාන CIDO අලෙවිසැල වේ.

මෝටර් රථ සහ SUV රථ සඳහා ටයර් ආශ්‍රිත සියලුම සේවාවන් සැපයීම කෙරෙහි අවධානය යොමු කිරීමට නව අලෙවිසැල සැලැසුම් කර ඇති අතර, ආකර්ෂණීය වට්ටම්, ටයර් නඩත්තුව සඳහා අවශ්‍ය තාක්‍ෂණික විශේෂඥතාවය, වීල් බැලන්සින් හා එලයින්මන්ට්, ටයර් වායු පිරවීමට නයිට්‍රජන් හා වායු පොම්ප උපාංග මෙන්ම වාහන අභ්‍යන්තර සහ බාහිර සේවා වලින් සමන්විත වන අතර පුළුල් පරාසයක ‘සියැට්’ ටයර් වර්ග අලෙවියද සිදු කරනු ලැබේ. සියැට් CIDO අලෙවිසැලේ එක් විශේෂත්වයක් වන්නේ සියැට් හි පිරිවිතරයන්ට අනුකූලව සැලසුම් කර අංගසම්පූර්ණ කරන ලද පාරිභෝගික විවේකාගාරයයි.

සියැට් කැළණි විසින් මෙම නව අග්‍රගන්‍ය අලෙවිසැලට නවීන මෝස්තරයේ අභ්‍යන්තර අංග රැසක් එක්කර ඇත. ආලෝකකරණ උපාංග, ගෘහ භාණ්ඩ, ටයර් ප්‍රදර්ශන මෙවලම් හා ටයර් රාක්ක සහ සෝෆා සහිත පාරිභෝගික විවේකාගාරයක්, දුර සිට දෘෂ්‍යමාන වන පරිදි කුළුණු සහිත පුවරු සහ ආලෝකමත් කරන ලද බාහිර සහ අභ්‍යන්තර සන්නාම පුවරු ද එහි ස්ථාපිත කර ඇත.

ශ්‍රී ලංකාව තුළ බෙදාහැරීමේ නාලිකා වැඩි දියුණු කිරීම හා ව්‍යාප්තිය වෙනුවෙන් සියැට් සිදුකළ ආයෝජනයේ ප්‍රතිඵලයක් ලෙස ඇතුල් කෝට්ටේ, මාදම්පේ සහ දැන් මිරිහානේ දී CIDO අලෙවිසැල් තුනකුත්, බොරැල්ල, පාමංකඩ, මාලඹේ, කොළඹ 14 (අලෙවිසැල් දෙකක්) සහ හංවැල්ලේ  දී Shop-In-Shop ^SIS& අලෙවිසැල් හයකුත් විවෘත කිරීමට හැකි වී තිබේ.

Views: 0