ටී. සෙන්තිල්වර්ල් සතු ලක්ෂපාන බැටරීස් පීඑල්සී කොටස් ප්‍රතිශතය 10% ඉක්මවයි

මෙරට ප්‍රමුඛ පෙළේ ආයෝජකයෙකු වන ආචාර්ය ටී සෙන්තිල්වර්ල් සහ ඔහුට අයත් සෙන්තිල්වර්ල් හෝල්ඩිංග්ස් (පෞද්) සමාගම සතු ලක්ෂපාන බැටරීස් පීඑල්සී (LITE.N0000) සමාගමෙහි කොටස් ප්‍රමාණය කොටස් 6,710,083ක් දක්වා ඉහළ ගොස් ඇතැයි වාර්තා වෙයි. මෙය එම සමාගම නිකුත් කර ඇති සමස්ත ඡන්ද හිමි කොටස් ප්‍රමාණය අතරින් 10.13%ක ප්‍රතිශතයකි.

පසුගිය මාර්තු 14 වැනිදා සෙලාන් බැංකුව/සෙන්තිල්වර්ල් හෝල්ඩිංග්ස් (පෞද්) සමාගම මගින් පවත්වාගෙන යන ගිණුම හරහා මිලදී ගත් ලක්ෂපාන බැටරීස් පීඑල්සී සමාගමෙහි කොටස් 699,581ත් සමගින්ම මෙලෙස එම කොටස් ප්‍රමාණය ඉහළ ගොස් තිබේ.

මෙහිදී කොටසක් රුපියල් 17.60ත් 18.00ත් අතර අගයකින් මෙම ගනුදෙනුව සිදුව තිබේ.

2023 දෙසැම්බර් 31 වැනිදායින් අවසන් වූ කාලසීමාව වෙනුවෙන් ලක්ෂපාන බැටරීස් පීඑල්සී සමාගම 2024 පෙබරවාරි 13 වැනිදා නිකුත් කළ අතරමැදි මූල්‍ය ප්‍රකාශනයට අනුව එම සමාගමෙහි කොටස් අතරින් කොටස් 3,512,413ක් එනම් 5.30%ක් සම්පත් බැංකුව/ආචාර්ය ටී. සෙන්තිල්වර්ල් යන ගිණුම වෙත අයත්ව තිබේ.

එසේම තවත් කොටස් 1,600,168ක් එනම් 2.42%ක් සෙලාන් බැංකුව / සෙන්තිල්වර්ල් හෝල්ඩිංග්ස් (පෞද්) සමාගම වෙත හිමිව ඇත.

මීට අමතරව කාර්ගිල්ස් බැංකුව/සෙන්තිල්වර්ල් හෝල්ඩිංග්ස් (පෞද්) සමාගම හරහා කොටස් 112,520ක් එනම් 0.17%ක හිමිකාරීත්වයක්ද පවතී.

ඒ අනුව එම අවස්ථාව වනවිට ආචාර්ය සෙන්තිල්වර්ල් සහ සෙන්තිල්වර්ල් හෝල්ඩිංග්ස් සතු කොටස් ප්‍රමාණය 5,225,101 ක් එනම් 7.89%ක ප්‍රතිශතයක් ගෙන තිබුණි.

ලක්ෂපාන බැටරීස් පීඑල්සී සමාගමෙහි කොටස් හිමිකාරීත්වයෙන් කොටස් 27,712,378ක් එනම් 41.85%ක් හිමිව ඇත්තේ ඊ.බී. ක්‍රීසි ඇන්ඩ් කම්පැනි පීඑල්සී සමාගමටයි.

Views: 0