කාගිල්ස් සභාපති රංජිත් පේජ් ‘ගාසාහි ළමා අරමුදලට‘ රුපියල් මිලියන 3ක් පරිත්‍යාග කරයි

ජනාධිපතිවරයා විසින් පසුගියදා යෝජනා කරන ලද “ගාසා හි ළමා අරමුදල” සඳහා කාගිල්ස් සමූහ ව්‍යාපාරයේ සභාපති රංජිත් පේජ් මහතා අද දිනයේදී රුපියල් මිලියන 3ක මුදලක් පරිත්‍යාග කළ බව වාර්තා වෙයි.

ඊට අදාළ චෙක්පත අද දහවල් මුදල් අමාත්‍යාශයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත භාරදුන් බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.

ගාසා තීරයේ ගැටුම්වලින් විපතට පත්වූ දරුවන් වෙනුවෙන් සහන සැලසීම සඳහා ”ගාසාහි ළමා අරමුදල” (Children of Gaza Fund) පිහිටුවීමේ යෝජනාව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පසුගියදා අමාත්‍ය මණ්ඩල ඉදිරිපත් කළ අතර ඊට අනුමැතිය හිමි විය.

මෙමඟින් සියලුම අමාත්‍යාංශ සහ රජයේ ආයතන එක්ව මෙවර ඉෆ්තාර් සැමරුම් පැවැත්වීම සඳහා වෙන් කර තිබූ ප්‍රතිපාදන මෙම අරමුදලට ලබා දෙන ලෙස උපදෙස් ලබාදී තිබේ.

එමෙන්ම මේ සඳහා ජනතාවගේ දායකත්වයන් ද අපේක්ෂා කරන අතර විපතට පත් දරුවන් සඳහා සහන සැලසීම වෙනුවෙන් ශ්‍රී ලංකා රජය විසින් ඇමරිකානු ඩොලර් මිලියනයක පරිත්‍යාගයක් එක්සත් ජාතීන්ගේ නිල නියෝජිතායතන හරහා ලබාදීමට නියමිත බව ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කරයි.

රාමසාන් මාසය තුළ “ගාසා හි ළමා අරමුදල (Children of Gaza Fund)” සඳහා දායක වීමට කැමති පරිත්‍යාගශීලීන් වේ නම්, එම පරිත්‍යාගයන් අප්‍රේල් මස 11 වනදාට පෙර ලංකා බැංකුවේ (7010), තැප්‍රොබේන් ශාඛාවේ (747) පිහිටි ගිණුම් අංක 7040016 වෙත තැන්පත් කර ඊට අදාළ ලදුපත 077-9730396 වෙත Whatsapp හරහා යොමු කරන ලෙස ජනාධිපති කාර්යාලය මීට පෙර දැනුම් දී තිබුණි.

Views: 0