කොළඹ ගලදාරි හෝටලය අලුත්වැඩියාවට එමීරයේ බැංකුවකින් සහ මව් සමාගමින් මුදල්

කොළඹ පිහිටි තරු පන්තියේ හෝටලයක් වන ගලදාරි හෝටලයේ අලුත්වැඩියා කටයුතු සඳහා අවශ්‍ය මුදල් ලබා ගැනීම වෙනුවෙන් එක්සත් අරාබි එමීරයේ Mashreq Bank PSC බැංකුව සහ එම හෝටලය අයත් ගලදාරි බ්‍රදර්ස් කම්පැනි. එල්එල්සී සමාගම සමගින් එකඟතාවකට පැමිණිමට සූදානමින් සිටින බව එම හෝටලය පවසයි.

කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත සමාගමක් වන ගලදාරි හොටේල්ස් (ලංකා) පීඑල්සී සමාගම (GHLL.N0000) අද දිනයේදී ඒ වෙත ලිපියක් මගින් මේ පිලිබඳව දැනුම් දී තිබේ. කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් සිය කොටස් හිමිකරුවන්ගේ අනුමැතියක් අවශ්‍යව ඇතැයි එම සමාගම පවසයි.

2019 වසරේ මැයි මාසයේ සිටම ගලධාරි හෝටලය අලුත්වැඩියා කිරීම සම්බන්ධයෙන් එම සමාගම සැලසුම් කර තිබෙන අතර, ඒ පිළිබඳව පසුගිය වසරේ අවස්ථා දෙකකදීද දැනුම්දීම් සිදු කෙරිණි.

එසේම ගලධාරි හොටේල්ස් (ලංකා) පීඑල්සී කළමනාකාරීත්වය සම්බන්ධයෙන් රැඩිසන් හොටේල්ස් ඒෂියා පැසිපික් ඉන්වෙස්ට්මන්ට් සමාගම (Radisson) හා එකඟතාවකට පැමිණීමක් සිදුව ඇතැයි එම සමාගම පසුගිය වසරේ ජූලි මාසයේදී පවසා සිටියේය.

රැඩිසන් හොටේල්ස් ඒෂියා පැසිපික් ඉන්වෙස්ට්මන්ට් පෞද්ගලික සමාගම ලොව ජනප්‍රිය බහුජාතික ආගන්තුක සත්කාර සමාගමක් ලෙස ප්‍රකට සමාගමකි. 2023 මැයි 01 වැනිදා සිට බලාත්මක වන පරිදි මෙම එකඟතාවට පිවිසීම සිදුව ඇතැයිද එහිදී සඳහන් විය.

මෙම එකඟතාවට අනුව හෝටල් සංවර්ධන සේවා එකඟාව (HDSA) සහ හෝටල් කළමනාකරණ එකඟතාව (HMA) යනාදී එකඟතාවන් පවතින බව ගලධාරි හෝටලය පවසා සිටියේය.

එසේම මෙම එකඟතාවට අනුව කොළඹ ගලධාරි හෝලටය අලුත්වැඩියාවට ලක් කෙරෙනු ඇති බවත්, එහිදී හෝටලයේ කළමානාරීත්වය RADISSON BLU HOTEL GALADAI COLOMBO යන නමින්  Radisson සමාගම මගින් සිදු කරනු ඇති බවත් වැඩිදුරටත් සඳහන් විය.

මේ අතර 2023 නොවැම්බර් 14 වැනිදා නිවේදනයක් නිකුත් කළ ගලදාරි හෝටලය, එම හෝටලයේ අලුත්වැඩියාවන් වෙනුවෙන් ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය සමගින් එකඟතාවකට පිවිසි බවද සඳහන් කළේය. ඒ අනුව මෙහිදී එක්සත් ජනපද ඩොලර් මිලියන 33.5ක ආයෝජනයක් වෙනුවෙන් මෙම එකඟතාවට පිවිසීම සිදුව තිබුණි.

2023 නොවැම්බර් 13 වැනිදා වනවිට ගලධාරි හොටේල් (ලංකා) පීඑල්සී සමාගමෙහි ප්‍රධානතම කොටස් හිමිකරුවන්නේ ගලධාරි බ්‍රදර්ස් කම්පැනි සමාගමයි. එය කොටස් 318,395,504ක් වන අතර එය සමස්ත කොටස් අතරින් 63.57%ක ප්‍රතිශතයකි. එසේම අයිස්බර්ග් 2 ලිමිටඩ් සමාගම වෙත සහ සේවක අර්ධසාධක අරමුදල වෙත පිළිවෙලින් කොටස් 29,510,817ක් සහ 23,712,200ක් හිමිව තිබේ. එය පිළිවෙලින් 5.89%ක සහ 4.73%ක ප්‍රතිශතයකි.

Visits: 0