භාවිතා කළ වාහන සඳහා වැට් බදු පැනවීම කළුකඩ වෙළඳ පොළක් නිර්මාණය කරාවි – CMTA

භාවිතා කළ රථ වාහන සඳහා අලුතෙන් පනවන ලද එකතු කළ අගය මත බද්ද (VAT) හේතුවන් මෙරට ජනතාව පීඩනයට පත්වන බවත්, ඒ හරහා කළු කඩ වෙළඳ පොළක් නිර්මාණය වීමත් සමඟ වාහනවල මිල අධික ලෙස ඉහළ යාම සිදුවනු ඇතැයි සිලෝන් මෝටර් ට්‍රේඩර්ස් සංගමය (CMTA) ප්‍රකාශයක් නිකුත් කරයි.

මෙහිදී නවතම වැට් බදු ක්‍රියාත්මක කිරීම හේතුවෙන්, නීත්‍යානුකූල සමාගම් සැළකිය යුතු මට්ටමේ දුෂ්කරතාවන්ට මුහුණ දී සිටීම, CMTA හි කනස්සල්ලට හේතු වී තිබේ. අලුතින් පනවා ඇති වැට් බද්ද හේතුවෙන්, මෙම නීත්‍යානුකූල සමාගම් වාහන අලෙවි කිරීමේ දී, අමතර 18%ක අගයකින් මිල ඉහළ යයි.

එසේම මුදල් ගනුදෙනුවල නිරත වන සදාචාර විරෝධී සමාගම් සහ පුද්ගලයන් හට මෙම අතිරේක බද්දෙහි බලපෑමකින් තොරව ක්‍රියාත්මක විය හැකි අතර, ඔවුන් හට මෙම 18%ක බදු ඉහළ යාම සැලකිය යුතු තරඟකාරී වාසියක් ලබා දෙයි. නීත්‍යානුකූල සමාගම්වලට බරපතල තර්ජනයක් ඇති කරන මෙම තත්වය කළු කඩ වෙළඳපොල තරඟකරුවන් හමුවේ ඔවුන්ගේ ක්‍රියාකාරීත්වය අඩාල කරයි.

මෙහි අනිසි ප්‍රතිඵලයක් ලෙස භාවිත කළ වාහන අලෙවි කිරීම කළු කඩ වෙළෙන්දන් වෙත යොමු වන අතර එම වාහන මත වැට් බදු එක් කිරීමෙන් අපේක්ෂිත ආදායම ලබා ගැනීමට රජය අපොහොසත් වනු ඇත.සැබෑ ගනුදෙනු හෝ ගනුදෙනුවල ලාභය බලධාරීන්හට හෙළි නොකිරීම නිසා ආදායම් බදු හෝ වෙනත් සෘජු බදු මෙම කළු කඩ වෙළෙඳුන් විසින් නොගෙවීම මීට හේතුවයි.

ඉහත කරුණුවලට අමතරව නීත්‍යානුකූල සමාගම්වලට, භාවිත කළ වාහන ව්‍යාපාරයෙන් සම්පූර්ණයෙන් ඉවත් වීමට සිදුවන බැවින්  එම සමාගම්වලින් රජයට මෙතෙක් ලැබෙමින් තිබූ ආදායම් බද්ද පවා අහිමි වනු ඇත.

CMTA ආයතනයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති විරාන් ද සොයිසා මහතා මේ සම්බන්ධව අදහස් දක්වමින් ප්‍රකාශ කළේ, “මෙම තත්ව‍යෙන් අයුතු ප්‍රයෝජන ගනිමින් කළු කඩ වෙළෙඳුන් මේ වන විටත් මෝටර් රථ සහ යතුරු පැදිවල මිල ඉහළ දමා තිබෙනවා, ඉන් තව තවත් පීඩනයට පත් වන්නේ මෙරට මහ ජනතාවයි.  අඛණ්ඩව වසර 04කට අධික කාලයක් පුරා වාහන ආනයනය  අත්හිටුවීම හේතුවෙන් වාහන මිල අධික ලෙස ඉහළ ගොස් තිබෙනවා.” යනුවෙන් පවසයි.

“නිදසුනක් ලෙස, වැට් බද්ද හේතුවෙන් මෙරට ජනප්‍රිය වාහන අතරින් එකක් වන Suzuki Wagon R සඳහා නීත්‍යානුකූල සමාගමකට අමතර රුපියල් මිලියනයක මුදලක් අය කිරීමට සිදු වෙනවා. මෙය සාමාන්‍ය පාරිභෝගිකයෙකු හට දරා ගැනීමට අපහසු අගයක්.  එසේම  බොහෝ දෙනෙක් මිල දී ගන්නා Honda Dio ස්කූටර් වැනි යතුරු පැදි සඳහා පවා අමතර රුපියල් ලක්ෂයක මුදලක් අය කිරීමට නීත්‍යානුකූල සමාගම්වලට සිදුව තිබෙනවා. තව ද, මිල දී ගැනීම හා අලෙවි කිරීම යන ක්‍රියාවලි සියල්ලේදීම  වැට් බද්ද හේතුවෙන් මිල ඉහළ යාම සිදු වෙනවා. මෙය භාවිත කරන ලද වාහනසහිත පාරිභෝගිකයන්ගේත් රටේ ජනතාවගේත් ඉදිරි ගමන කෙරෙහි වැට් බද්දෙන් වන අහිතකර බලපෑම් පෙන්වන එක් කරුණක්.” යනුවෙන්ද ඔහු පවසයි.

CMTA විසින් ඉදිරිපත් කර ඇති විකල්ප යෝජනාව පිළිබඳව පෙන්වා දෙමින් CMTA හි සභාපති චාරක පෙරේරා මහතා, “වාහනයේ ලාභ ආන්තිකය මත පදනම්ව වැට් බද්ද අය කරන ලෙස අපි රජයට යෝජනා කරනවා. එසේ සිදු කිරීමෙන් වාහනවල විශාල මිල වැඩි වීමක් සිදු නොවන අතර, නීත්‍යානුකූල සමාගම්වලට අපහසුවකින් තොරව තම ව්‍යාපාර කර ගෙන යාමට හැකියාව ලැබෙනවා. එසේම රජයට භාවිත කළ වාහන අලෙවිය හා වැට් බද්දෙන් ආදායමක් උපයා ගැනීමට ද හැකියාව ලැබෙනවා. මෙම ගැටලුවට නිසි අවධානය යොමු නොකළ හොත්, වාහන ආනයනය අත් හිටුවීම නිසා 15,000කට අධික ප්‍රමාණයකට රැකියා අහිමි වී ඇති මෝටර් රථ කර්මාන්තය තුළ තවදුරටත් රැකියාඅහිමි වී යාම සිදු විය හැකියි.” යනුවෙන් සිය අදහස් දැක්වීය.

Visits: 0