ලාෆ්ස් ලෙෂර් ලිමිටඩ් කොටස් හැකි ඉක්මණින්ම CSE හි ලැයිස්තුගත කරනවාලු

ලාෆ්ස් ගෑස් සමාගම් සමූහයට අයත් ලාෆ්ස් ලෙෂර් ලිමිටඩ් සමාගම කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත කිරීම හැකි ඉක්මණින්ම සිදු කිරීමට බලාපොරොත්තු වන බව ලාෆ්ස් ගෑස් පීඑල්සී සමාගම පවසයි.

එහි සමූහ කළමනාකාර අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරී පී. කුඩාබාලගේ මහතා විසින් අද දිනයේදී කොළඹ කොටස් හුවමාරුව වෙත ලිපියක් මගින් මේ පිළිබඳව දැනුම් දී තිබේ. ඒ අනුව සිය අනාගත ක්‍රියා සැලසුමේ මේ පිළිබඳව ඇතුළත්ව ඇතැයිද එහි සඳහන්ව තිබේ.

ඒ අනුව අද දිනයේ සිට ඉදිරියට පැමිණෙන සෑම කාර්තුවක් අවසානයේදීම ඒ පිළිබඳව අවධානය යොමු කරන බවත්, එහිදී අදාළ ලැයිස්තුගත වීම සඳහා අනුකූල විය යුතු කොළඹ කොටස් හුවමාරුවෙහි 5.1.1 ( C) දරණ නියාමන රෙගුලාසිය සම්පූර්ණ කිරීම සඳහා කටයුතු කරන බවත් සමාගම මෙහිදී සඳහන් කර සිටියි.

එසේම හෝටල් සහ ලෙෂර් කර්මාන්තයේ සිදුවන ක්‍රමික දියුණුවත් මෙහිදී අවධානයට ලක් කරන බවත් එහි වැඩිදුරටහත් සටහන්ව තිබේ.

ලාෆ්ස් ලෙෂර් ලිමිටඩ් සමාගම සඳහන් කරන ආකාරයට 2019 වසරේ නොවැම්බර් 07 වැනිදා එම සමාගම මගින් සිය කොටස් කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත කිරීම සඳහා වන මූලික ලැයිස්තුගත කිරීමේ ඉල්ලුම් පත්‍රය (Initial Listing Application) ඉදිරිපත් කර තිබේ.

කෙසේ වෙතත් එම වසරේ එල්ල වූ පාස්කු ප්‍රහාරය සහ ඉන්පසුව ඇති වූ වසංගත ව්‍යාප්තියේ බලපෑම හේතුවෙන් ලෙෂර් කර්මාන්තයේ පසුබෑමක් සිදු වූ බව සමාගම පවසයි. ඒ අනුව මෙම බාධාවීම් හේතුවෙන් මෙම ලැයිස්තුගතවීම කෙරෙහි වක්‍ර බලපෑම් රැසක් එල්ල වූ බව පවසන සමාගම, ඒ හේතුවෙන් මෙම මූලික ලැයිස්තුගතවීමේ ඉල්ලුම්පත්‍රයේ ඇතුළතු කොටස්හි වටිනාකම ඇතුළුව තවත් කාරණා වෙත සංශෝධන සිදු කිරිමටද සිදුව තිබේ.

මේ තත්ත්වයත් සමගින්ම එම සමාගම 2023 ‍දෙසැම්බර් 31 වැනිදායින් අවසන් වූ කාර්තුව සඳහා වන සිය නවතම මූල්‍ය වාර්තාව පිළිබඳව අවධානය යොමු කරමින්, කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගතවීමේ රීති 5.1.1 (C ) සැපිරීම සඳහා හැකියාව ඇත්දැයි යන්න පිළිබඳව සලකා බැලීමට සමාගම කටයුතු යොදා තිබේ. ඒ අනුව කොළඹ කොටස් හුවමාරුවෙහි විමර්ශනය සඳහා සංශෝධිත ලියවිල්ලක් ඉදිරිපත් කිරීමටද සමාගම අදහස් කරගෙන සිටින බවත් මෙහිදී පවසා සිටියි.

කෙසේ වෙතත් තවමත් මෙම කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගතවීමේ රීති 5.1.1 (C) සැපිරීමට තමන්ට නොහැකි බව පවසන ලාෆ්ස් ලෙෂර් ලිමිටඩ් සමාගම, මේ හේතුවෙන් එම සමාගමෙහි කොටස් ලැයිස්තුගත කිරීමට අදාළ යෝජනාව සකස් කර අවසන් කිරීමටද නොහැකි වී ඇතැයි සමාගම වැඩිදුරටත් සඳහන් කර සිටියි.

මෙම නියාමන රීතිය සැපිරීමට අවස්ථාව ලැබුණු විගසම ඒ පිළිබඳව කොළඹ කොටස් හුවමාරුව දැනුවත් කරන බවත් ලාෆ්ස් ලෙෂර් ලිමිටඩ් සමාගම මෙහිදී පවසා සිටියි.

Visits: 0