‘මාතර කලා උළෙල’ 2024 පෙබරවාරි 02 සිට 04 දක්වා මාතර කොටුවේදී

ශ්‍රී ලංකාවේ සහ ඉන් එපිට වර්තමාන කලාව සහ සංගීතය කේන්ද්‍ර කර ගත් මාතර කලා උළෙලේ (MFA) පළමු පියවර 2024 වසරේ පෙබරවාරි මස 02 සිට 04 දක්වා මාතර කොටුවේදී පැවැත්වීමට නියමිතව තිබේ.

ගාලු සාහිත්‍ය උළෙලෙන් පසුව වසර ආරම්භයේදී මාතර කලා උළෙල දකුණු වෙරළ තීරයේ පැවැත්වීම සංචාරකයින්ට සහ ශ්‍රී ලාංකිකයින්ට විශේෂත්වයක් වනු ඇත.

UNESCO සංවිධානය විසින් සංරක්ෂණ ලැයිස්තුවට ඇතුළත් කර ඇති මාතර කොටුව, නගරය සහ මාතර දිස්ත්‍රික්කයේ ඇතැම් කලාවන් ආර්ථික හා සමාජීය පුනර්ජීවනයට සුවිශේෂී දායකත්වයක් වී ඇති අතර, ඒ හරහා අනෙකුත් ප්‍රදේශවල ජනතාවට සහ ගෝලීය හවුල්කරුවන් සමග දැනුම හුවමාරු කෙරෙන සබඳතාවක් ඇතිකර ගැනීමට මෙම කලා උළෙල ඉවහල් වනු ඇත.

දිවංගත මංගල සමරවීර මහතාගේ පවුලේ සාමාජිකයන් වන ජයන්ති සමරවීර ගුණවර්ධන සහ චංචලා ගුණවර්ධන යන මහත්මීන්ගේ හා මහාචාර්ය ජගත් වීරසිංහ මහතා ඇතුළු මාතර Freedom Hub සංසදය විසින් මෙම කලා උළෙල ආරම්භ කිරීමට පියවර ගෙන ඇත.

මෙහි මූලික වැඩසටහන මෙහෙයවනු ලබන්නේ ගෞරවනීය කලාකරුවෙකු සහ පුරාවිද්‍යාඥයෙකු වන මහාචාර්ය ජගත් වීරසිංහ සහ සංගීතඥයෙකු හා අධ්‍යාපනඥයෙකු වන ආචාර්ය සුමුදි සුරවීර යන මහත්වරුන් විසිනි.

මෙම වැඩසටහන සඳහා ප්‍රදීප් චන්ද්‍රසිරි, ප්‍රියන්ති අනූෂා, ෆීරි රහ්මාන්, හේමා ශිරෝනි, මාතර පාල පොතුපිටිය සහ අනුර ක්‍රිෂාන්ත ඇතුළු කලාකරුවන් 12 දෙනෙකුගෙන් යුත් ඉදිරිපත් කිරීමක් සහ මහාචාර්ය ජගත් මහතාගේ මගපෙන්වීම යටතේ මාතර කලාකරුවන් 8 දෙනෙකු විසින් නිර්මාණය කරන ලද අතිරේක ප්‍රජා කලා වැඩසටහනක් ඔවුන්ගේ ඉදිරිපත් කිරීම් අතරට ඇතුළත් වේ.

පෙබරවාරි 04 නිදහස් දිනය දා, මහින්ද විජේසේකර ක්‍රීඩාංගණයේදී අංග 7කින් යුත් එළිමහන් ප්‍රසංගයක් ද මෙම කලා උළෙලට සමගාමීව පැවැත්වේ. අමිල සඳුරුවන් විසින් ජන සංගීතය, බ්‍රසීලියානු ගායක පෝලා විසින් ජෑස් බොසා නෝවා (Jazz to bossa nova) සහ රෙගේ (reggae) සංගීතය, පහතරට බෙර වාදනය සහ ජෑස් බෙර වාදන කණ්ඩායමක් වන Baliphoincs කණ්ඩායමේ ප්‍රාසංගික ඉදිරිපත් කිරීම සහ ඇමරිකාවේ රැප් (Rap) සහ කර්නාටික් (Carnatic) ගායක රෝලෙක්ස් රසති විසින් කරනු ලබන ප්‍රාසංගික ඉදිරිපත් කිරීම් ඇතුළු තවත් කලාකරුවන් රැසක් මෙම ප්‍රසාංගික කලා දැක්ම සඳහා සහභාගී වනු ඇත.

ප්‍රවේශපත්‍ර ප්‍රකාශයට පත් කෙරෙන ප්‍රසංගය හැර, මාතර කලා උළෙලේ අනෙකුත් අංග සියල්ල නොමිලේ නැරඹීමට හැකිය.
මෙම කලා උළෙල පිළිබඳ වැඩිදුර තොරතුරු Instagram සහ Facebook හි @MataraForArts වෙත පිවිසීමෙන් ලබා ගත හැකිය.

Visits: 24