ජාත්‍යන්තර වාණිජ මණ්ඩලයේ (ICC) සභාපතිනිය BCI Campus වෙත එයි

ජාත්‍යන්තර වාණිජ මණ්ඩලයේ (International Chamber of Commerce – ICC) සභාපතිනී මාරියා ෆර්නැන්ඩා ගාර්සා මහත්මිය ශ්‍රී ලංකාවේ කරනු ලැබූ සිය මංගල සංචාරය අතරතුරදී බෙනඩික්ට් XVI ජාත්‍යන්තර උසස් අධ්‍යාපන ආයතනය (BCI) වෙත පසුගියදා පැමිණියාය.

ඇයගේ ශ්‍රී ලංකා සංචාරයේ අරමුණ වූයේ රටේ තරුණ තරුණියන් සඳහා අධ්‍යාපනික සහ පුහුණු අවස්ථා වැඩිදියුණු කිරීම සඳහා හවුල්කාරීත්වයක් සහිත දැක්මක් ඉදිරිපත් කරමින් BCI සහ ICC අතර අන්තර් සහයෝගීතාවයන් ඇතිකරන මුලපිරීම් පිළිබඳව සාකච්ජා කිරීමයි.

මෙම අවස්ථාව සඳහා ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලයේ සභාපති ඇන්තනී එම්. ශනිල් ප්‍රනාන්දු, එහි උප සභාපති ජොනී ප්‍රනාන්දු, BCI Campus හි ප්‍රධානී, උපකුලපති අති ගරු ක්වින්ටස් ප්‍රනාන්දු පියතුමන්, BCI Campus හි වෘත්තීය මාර්ගෝපදේශ පිළිබඳව සම්බන්ධීකාරක ජාමී වර්ණකුලසූරිය සහ එහි ව්‍යාපාරික පීඨයේ වැඩසටහන් ප්‍රධානී කථිකාචාර්ය සසිනි ප්‍රනාන්දු යන මහත්ම මහත්මීන් සහභාගී විය.

විශේෂයෙන්ම උසස් අධ්‍යාපන කටයුතු සඳහා අවතීර්ණය වීමට නොහැකි ශ්‍රී ලංකාවේ තරුණ තරුණියන් සවිබල ගැන්වීම සඳහා බලපෑමක් ඇති කෙරෙන අධ්‍යාපනය සහ වෘත්තීය පුහුණු වැඩසටහන් ඇති කිරීම සඳහා සහයෝගයෙන් ක්‍රියා කිරීමට මෙම සාකච්ජාවේදී දෙපාර්ශවයම එකඟ විය.

ආර්ථික අවශ්‍යතාවයන් පදනම් කරගනිමින් සකස් කරන ලද වෘත්තීය පාඨමාලා නිර්මාණය කිරීම සහ ජීවනෝපායන් වැඩිදියුණු කිරීම සඳහා අවශ්‍ය කුසලතාවලින් තරුණ තරුණියන් බලගැන්විය හැකි නැගී එන වෘත්තීන් පිළිබඳව මෙහිදී සාකච්ඡා විය. ජාත්‍යන්තර වාණිජ මණ්ඩලය සහ BCI අතර නිර්මාණය වන සහයෝගීතාවය ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ක්ෂේත්‍රයේ අභියෝගවලට විසඳුම් සෙවීම සඳහා සාධනීය ආරම්භයක් ලබා දෙනු ඇත.

විශේෂයෙන්ම ගම්පහ, පුත්තලම සහ කුරුණෑගල ඇතුළු දිස්ත්‍රික්කවල උසස් අධ්‍යාපන අවශ්‍යතාවය සඳහා BCI වැනි පෞද්ගලික ආයතනවල වැදගත්කම පිළිබඳව මෙම සාකච්ජාවේදී BCI Campus හි ප්‍රධානී උපකුලපති අති ගරු ක්වින්ටස් ප්‍රනාන්දු පියතුමන් අවධානය යොමු කරන ලදී.

උන්වහන්සේගේ අදහස් දැක්වීම හරහා කතෝලික අධ්‍යාපන මෙහෙවර සහ සමස්ත නවීන අධ්‍යාපන ඉගෙනුම් ආකෘතිය (K-Sam model) ඇතුළත් BCI හි පෙළගැස්ම පිළිබඳව ඉස්මතු කළහ. එමෙන්ම සා.පෙළ සහ උ.පෙළ විභාග අසමත් වීම සහ විශ්වවිද්‍යාල ප්‍රවේශය අහිමිවී ගිය ශිෂ්‍ය ප්‍රජාවන්ගේ දත්ත ඇතුළත් සංඛ්‍යාලේඛන අනූව, එම සිසුන් සඳහා සුදුසු පාඨමාලා නිර්මාණය කිරීම අවශ්‍ය බව පියතුමන් විසින් මෙහිදී අවධාරණය කළහ.

උපදේශන සේවා ඇතුළුව තාක්ෂණික සේවා සපයන මධ්‍යස්ථානයක් හරහා කාන්තා සවිබල ගැන්වීම සහ ව්‍යවසායකත්වය කෙරෙහි අවධානය යොමු කරමින් ICC ඇකඩමිය සහ BCI හි වෘත්තීය සංවර්ධන මධ්‍යස්ථානය අතර යෝජිත සහයෝගීතාවවය පිළිබඳව මෙහිදී සාකච්ඡාවට බඳුන් විය.

Visits: 32