Agstar PLC හි වැඩි කොටස් හිමිකාරීත්වය Brown & Company PLC වෙත

කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත කෘෂිකාර්මික කටයුතු හා සම්බන්ධ Agstar PLC සමාගමෙහි (AGST.X0000) සාමාන්‍ය ඡන්ද හිමි කොටස් 269,038,370ක් මිලදී ගැනීමට බ්‍රවුන් සහ සමාගම (Brown & Company PLC) ඊයේ (20දා) කටයුතු කළ බව පවසයි.

මෙහිදී Agstar PLC සමාගම තුළ බ්‍රවුන්ස් ඉන්වෙස්ට්න්ට්ස් පීඑල්සී (Browns Investments PLC) සහ අයිකොනික් ට්‍රස්ට් (පෞද්) සමාගම (Iconic Trust (Pvt) Ltd) සතුව තිබූ කොටස් ප්‍රමාණයක් මෙලෙස එම සමාගම මගින් මිලදී ගැනීම සිදු කර තිබේ. මෙය Agstar PLC සමාගම මගින් නිකුත් කර ඇති සමස්ත ඡන්ද හිමි කොටස් ප්‍රමාණයෙන් 58.29%ක ප්‍රතිශතයකි.

ඒ අනුව බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට්ස් පීඑල්සී සමාගම සතුව තිබූ Agstar PLC සමාගමෙහි කොටස් 67,489,966ක් (14.6%ක්) සහ අයිකොනික් ට්‍රස්ට් (පෞද්) සමාගම සතුව තිබූ කොටස් 201,548,404ක් (43.69%ක්)  මෙලෙස බ්‍රවුන් සහ සමාගම වෙත අලෙවි කර තිබේ.

මෙහිදී එක් සාමාන්‍ය ඡන්ද හිමි කොටසක් රුපියල් 15ක් බැගින් ගනුදෙනුව සිදුව ඇති අතර, සමස්ත ගනුදෙනුවේ වටිනාකම රුපියල් බිලියන 4ක් (4,035,575,550) ලෙස සටහන්ව තිබේ.

මීට අමතරව අයිකොනික් ට්‍රස්ට් (පෞද්) සමාගම සතුව තිබූ Agstar PLC හි නිෂ්ඡන්ද කොටස් 17,471,014ක්ද බ්‍රවුන්ස් සහ සමාගම මගින් මිලදී ගෙන තිබේ. මෙය නිකුත් කර ඇති සමස්ත නිෂ්ඡන්ද කොටස් අතරින් 66.66%ක ප්‍රතිශතයකි.

මෙහිදී කොටසක් රුපියල් 12ක් බැගින් මිලදී ගැනීම සිදුව ඇති අතර, සමස්ත ගනුදෙනුවේ වටිනාකම රුපියල් 209,652,168ක් ලෙස සටහන්ව තිබේ.

මෙම පියවර සම්බන්ධයෙන් අදහස් දක්වන බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට්ස් පීඑල්සී, බ්‍රවුන්ස් ඇන්ඩ් කම්පැනි පීඑල්සී සහ ඇග්ස්ටාර් පීඑල්සී යන සමාගම් එය එම සමූහය ප්‍රතිව්‍යුහගත කිරීමේ සැලසුමේ අවස්ථාවක් ලෙස සඳහන් කර සිටියි.

මෙම බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට්ස් පීඑල්සී සමාගම සහ අයිකොනික් ට්‍රස්ට් (පෞද්) සමාගම යන සමාගම් බ්‍රවුන් ඇන්ඩ් කම්පැනි පීඑල්සී සමාගමෙහි පරිපාලිත සමාගම් ලෙස ක්‍රියාත්මක වෙයි.

කෙසේ වෙතත් මෙම ගනුදෙනුව හේතුවෙන් Agstar PLC සමාගමෙහි පාලනය පිළිබදව වෙනස්කමක් සිදු නොවනු ඇති බවත් බ්‍රවුන් ඇන්ඩ් කම්පැනි පීඑල්සී සමාගම වැඩිදුරටත් සඳහන් කර සිටියි.

Visits: 101