ඩොලර් මිලියන 337ක IMF දෙවැනි ණය වාරිකය අනුමතයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ශ්‍රී ලංකාව අතර පවතින විස්තීර්ණ ණය පහසුකමට අදාළ දෙවැනි ණය වාරිකය අනුමත කිරීමට එම අරමුදලේ විධායක කමිටුවේ ඊයේ (12) කටයුතු කළේය.

ඒ අනුව මෙහිදී ඇමෙරිකානු එක්සත් ජනපද ඩොලර් මිලියන 337 ක මුදලක් දෙවැනි වාරිකය ලෙස ශ්‍රී ලංකාවට ලැබීමට නියමිතව ඇතැයි සඳහන් වෙයි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවට ලබා දී ඇති ආධාර වැඩසටහන ක්‍රියාත්මක කිරීමේදී අත්කර ගෙන ඇති ප්‍රගතිය සොයා බැලීම සඳහා එම අරමුදලේ නිලධාරීන් සිදු කළ පළමු සමාලෝචනය ඊයේ (12) විධායක කමිටුවට ඉදිරිපත් කෙරිණි.

ඒ අනුව ශ්‍රී ලංකාව ආධාර වැඩසටහන ක්‍රියාත්මක කිරීමේදී ලබා තිබෙන ප්‍රගතිය පිළිබඳ සෑහීමකට පත් වන බවත් ඒ හේතුවෙන් දෙවන වාරිකය ශ්‍රී ලංකාවට ලබා දීමට අනුමැතිය ලබා දෙන බවත් විධායක කමිටුව ප්‍රකාශ කර තිබේ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ශ්‍රී ලංකාව අතර ක්‍රියාත්මක ඩොලර් බිලියන 3ක මෙම විස්තීර්ණ ණය පහසුකම් වැඩසටහන යටතේ පළමු වාරිකය ලෙස ඩොලර් මිලියන 330ක මුදලක් මේ වසරේ මාර්තු මාසයේදී හිමිවිය.

Visits: 55