Sun Siyam Pasikudah නව මුහුණුවරකින් යළි විවෘත කෙරේ

Sun Siyam Resorts හෝටල් සමූහයට අයත් ශ්‍රී ලංකාවේ Sun Siyam Pasikudah හෝටලය, 2023 නොවැම්බර් 17 වැනිදා නැවතත් සංචාරකයින්ට විවෘත කෙරිණි. දැවැන්ත නවීකරණ ක්‍රියාවලියකින් අනතුරුව යළි විවෘත වන Sun Siyam Pasikudah හෝටලය, සුඛෝපභෝගීත්වය සහ සංස්කෘතික උරුමයන් කැටිකරගත් නවතම ආශ්වාදජනක අත්දැකීම් රැසක් සංචාරකයින්ට සමීප කිරීමට සූදානමින් සිටියි.

Sun Siyam Pasikudahයළි දෙස් විදෙස් සංචාරකයින්ට විවෘත වීම පිළිබඳ සිය සතුට පළකරමින් හෝටලයේ සාමාන්‍යාධිකාරී අර්ෂඩ් රෙෆායි මහතා, විශේෂයෙන්ම දැවකලා සහ වඩු කර්මාන්තය ආශ්‍රිතව දේශීය ප්‍රජාව වෙත නව අවස්ථා නිර්මාණය කරදීමේ වැදගත්කම පිළිබඳ අවධාරණය කළේය. එසේ දේශීය හස්ත කර්මාන්ත ශිල්පීන්ගේ දායකත්වයෙන් හෝටලයට එක්කරන ලද ගෘහභාණ්ඩ, අලංකාර විදුලි ආලෝක නිර්මාණ ආදිය පිළිබඳව ද ඔහු සඳහන් කළේය.

හෝටයේ නවීකරණ ක්‍රියාවලියේදී එහි මූලික ආකෘතිය එලෙසින්ම පවතින අතරතුර, සෙසු සියලු අංග සම්පූර්ණ වෙනසකට ලක්කිරීමට පියවර ගෙන තිබේ. ඒ සමඟ ශ්‍රී ලංකාවේ සුන්දරත්වය හා බැඳුණු අමතක නොවන සංචාරක අත්දැකීමක් දෙස් විදෙස් සංචාරකයින්ට පිරිනමමින් නව පරිච්ඡේදයක ඇරඹුම සනිටුහන් කිරීමට Sun Siyam Pasikudah අපේක්ෂා කරයි.

Sun Aqua Pasikudah නමින් 2014 වර්ෂයේදී ආරම්භ වුණු හෝටලය, 2020 වසරේදී Sun Siyam Resorts හෝටල් ජාලයට එක්වෙමින් Sun Siyam Pasikudah ලෙස නව සන්නාමයක් ලෙස එළිදැක්විණි.

″හෝටලය තාවකාලිකව වසා තැබීමත්, අනතුරුව පැවති ගෝලීය වසංගත තත්ත්වයත් පසුබිම් කරගනිමින් අපට හෝටලයේ දැවැන්ත නවීකරණ රැසක් සිදුකිරීමට හැකිවුණා. Studio Sixty7 සමඟ එක්ව හෝටල් භූමිය එහි මුල් ආකෘතිය ආරක්ෂාවන පරිදි යළි සැලසුම්කිරීමටත්, සෑම පැතිකඩකින්ම එහි සෞන්දර්යය වැඩිකිරීමටත් අපට අවස්ථාව උදාවුණා″, යනුවෙන් Sun Siyam Resorts ප්‍රධාන විධායක නිලධාරී දීපක් බූනිඩි මහතා ප්‍රකාශ කළේය. 

″අපගේ නවතම පිළිගැන්වීම්, පහසුකම් සහ සේවාව ආදී සෑම අංශයකින්ම සුප්‍රකට Sun Siyam දැක්ම හා බැඳුණු අත්දැකීමක් පිරිනැමීමට අප සැදීපැහැදී සිටිනවා. Sun Siyam Resorts boutiqueහෝටල් එකතුවේ සාඩම්බර සාමාජිකයෙකු ලෙස Sun Siyam Pasikudah යළි විවෘත කිරීම පිළිබඳවත් අපි බෙහෙවින් ආඩම්බර වෙනවා. ඒ සමඟම සෑම කෙනෙක්ටම මෙම මනරම් හෝටල් බිමට පිවිසෙන මෙන් උණුසුම් ලෙස ආරාධනා කරනවා″, යැයි ඔහු වැඩිදුරටත් පැවසුවේය.

තරු පහේ බුටීක් හෝටලයක්වන Sun Siyam Pasikudah, ශ්‍රී ලංකාවේ නැගෙනහිර වෙරළේ පිහිටා තිබේ. ඊට කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ සිට පැය 6ක සුන්දර චාරිකාවකින් ළඟාවිය හැකි අතර, ඉඩකඩ සහිත නවීන නිදන කාමර එකකින් හෝ දෙකකින් යුත් garden හා beach pavilion 34කින් (පෞද්ගලික පිහිනුම් තටාක සහිත හා රහිත) එය සමන්විත ය. එමනිසා යුවලක් ලෙස හෝ පවුලේ සාමාජිකයින් ලෙස හෝ මිතුරන් කණ්ඩායමක් ලෙසහෝ සංචාරය කරන ඕනෑම කෙනෙකුට අවශ්‍ය හා සුදුසු නවාතැන් පහසුකම් හෝටලය සතු ය.

Visits: 67