කාර්ගිල්ස් බැංකුවත් කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගතවීමේ සූදානමක

මහ බැංකුවෙහි ලියාපදිංචි බලපත්‍රලාභී වාණිජ බැංකුවක් වන කාර්ගිල්ස් බැංකුව (Cargills Bank Limited) කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගතවීමට තීරණය කර ඇතැයි පවසයි.

ඉදිරියේදී කොළඹ කොටස් හුවමාරුවෙහි සිදුකරන මූලික මහජන කොටස් නිකුත්වක් (IPO) හරහා සිය සාමාන්‍යඡන්ද හිමි කොටස් ප්‍රමාණයක් ලැයිස්තුගත කිරීම එම බැංකුවෙහි අරමුණ වී තිබේ.

මේ සඳහා වන අදාළ නියාමන අනුමැතියන් දැනටමත් කාර්ගිල්ස් බැංකුව වෙත ලැබී ඇතැයිද සඳහන් වෙයි. අද දිනයේදී කොළඹ කොටස් හුවමාරුව මගින් සියලුම ගනුදෙනු හවුල්කාර ආයතන වෙත ලිපියක් මගින් මේ පිළිබඳව දැනුම් දී තිබේ.

ඒ අනුව මෙහිදී සාමාන්‍ය ඡන්ද හිමි කොටස් 62,500,000ක් නිකුත් කරන බව බැංකුව පවසයි. එහිදීඑක් කොටසක් රුපියල් 8ක් බැගින් මිල කෙරී ඇති අතර, සමස්ත නිකුතුවෙහි වටිනාකම රුපියල් මිලියන 500 ක් (500,000,000) ලෙස ගණන් බලා තිබේ.

මෙහිදී අදාළ මූලික මහජන කොටස් නිකුතුව ලබන දෙසැම්බර් 14 වැනිදා සිදු කිරීම සැලසුම වී තිබේ.

මෙම නිකුතුවේ ඒකාබද්ධ කළමනාකරුවන් සහ මූල්‍ය උපදේශකවරුන් ලෙස CT CLSA Capital (පෞද්) සමාගම සහ NDB Investment Bank Limited සමාගම් කටයුතු කරයි.

මේ අතර කාර්ගිල්ස් බැංකුවෙහි මෙම මූලික මහජන කොටස් නිකුතුවට අදාළ සංස්ථා ප්‍රකාශනය ලබන නොවැම්බර් 29 වැනිදා එළිදැක්වීමට කටයුතු කරන බවද එම බැංකුව වැඩිදුරටත් සඳහන් කර සිටියි.

1844 වසරේදී ස්ථාපිත කෙරුණු මෙරට පැරණිතම සමාගම් සමූහයක් වන කාර්ගිල්ස් සිලෝන් පීඑඑල්සීහි පරිපාලිත සමාගමක් ලෙස කාර්ගිල්ස් බැංකුව මෙහෙයුම් සිදු කරයි. එහි විශාලතම කොටස් හිමිකරුවන් වන්නේ කාර්ගිල්ස් (සිලෝන්) පීඑල්සී සහ CT Holdings PLC (සිලෝන් තියටර්ස් හෝල්ඩිංග්ස් පීඑල්සී) යන සමාගම්ය. මෙම සමාගම් දෙකම කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත සමාගම් වෙයි.

වර්තමානයේදී කාර්ගිල්ස් බැංකුවෙහි අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන් වන්නේ රිචර්ඩ් ඉබෙල් (සභාපති/විධායක නොවන ස්වාධීන අධ්‍යක්ෂ), සෙනරත් බණ්ඩාර (කළමනාකාර අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක) මාරිආනා පේජ් (ස්වාධීන නොවන විධායක නොවන අධ්‍යක්ෂ), යුධීෂ්ත්‍රන් කනගසබෙයි (ස්වාධීන විධායක නොවන අධ්‍යක්ෂ), බුවනෙක පෙරේරා (ස්වාධීන විධායක නොවන අධ්‍යක්ෂ), අසෝක පීරිස් ((ස්වාධීන නොවන විධායක නොවන අධ්‍යක්ෂ), රවී ජයවර්ධන (ස්වාධීන විධායක නොවන අධ්‍යක්ෂ), ශාන්ති ඥානප්‍රාගාසම් (ස්වාධීන විධායක නොවන අධ්‍යක්ෂ), අර්ජුන හේරත් (ස්වාධීන විධායක නොවන අධ්‍යක්ෂ) යන මහත්ම මහත්මීන්ය.

Visits: 165