චීනයේ BYD මගී ප්‍රවාහන රථවල මෙරට එකම බෙදාහරින්නා ලෙස ජෝන් කීල්ස් සමූහය පත්වෙයි

චීනයේ ප්‍රමුඛතම විදුලි මෝටර් රථ නිෂ්පාදන සමාගමක් වන BYD හි මගී ප්‍රවාහන මෝටර් රථ සඳහා වන මෙරට එකම බෙදාහරින්නා ලෙස ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් සමූහය පත්ව ඇතැයි වාර්තා වෙයි.

ඊට අදාළ එකඟතාවට අත්සන් තැබීම පසුගියදා චීනයේ ෂෙන්සෙන්හි පිහිටි BYD Global සමාගමේ මූලස්ථානයේදී සිදුව ඇති අතර, BYD Asia-Pacific කලාපයේ මෝටර් රථ අංශයේ සාමාන්‍යාධිකාරී ලියු ෂ්යුලිආන්ග් සහ ජෝන් කීල්ස් සමූහයේ සභාපති ක්‍රිෂාන් බාලේන්ද්‍ර යන මහත්වරුන් ඊට සහභාගි වී තිබේ.

මෙම හවුල්කාරීත්වයත් සමගින්ම ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් සමූහය ශ්‍රී ලංකාව වෙත විදුලියෙන් ක්‍රියාත්මක නවතම මෝටර් රථ ආනයනය කිරීම අරඹනු ඇතැයි සඳහන් වෙයි.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වා ඇති ක්‍රිෂාන් බාලේන්ද්‍ර මහතා, “මෙම හවුල්කාරීත්වයත් සමගින්ම නවතම විදුලියෙන් ක්‍රියාත්මක මෝටර් රථ මාදිලි ලංකාව වෙත රැගෙන ඒමට අපි කටයුතු කරනවා. ඒ හරහා අපගේ ශ්‍රී ලාංකික ජනතාවට පරිසර හිතකාමී තිරසාරත්වයෙන් යුත් නවීනතම තාක්ෂණයේ අත්දැකීම විඳ ගැනීමට අවස්ථාව සැලසේවි.” යනුවෙන් සඳහන් කර තිබේ.

Visits: 92