LOLC හෝල්ඩිංග්ස් වෙතින් රුපියල් බිලියන 8ක් වටිනා ණයකර නිකුතුවක්

කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත විවිධාංගීකරණය වූ මූල්‍ය සමාගමක් වන LOLC හෝල්ඩිංග්ස් පීඑල්සී සමාගම (LOLC.N0000) රුපියල් බිලියන 08ක් වටිනා ණයකර නිකුතුවක් සිදු කිරීමට සූදානමින් සිටින බව පවසයි.

මෙය ලැයිස්තුගත, වර්ගකෙරුණු, සුරක්ෂිතනොවූ, ජ්‍යෙෂ්ඨ, පිරිමුදවාගතහැකි ණයකර නිකුතුවක් ලෙස සිදු කිරීම LOLC හෝල්ඩිංග්ස් සමාගමේ අදහස වී තිබේ.

මෙහිදී පළමු අවස්ථාව ලෙස ණයකර කොටස් මිලියන 50ක (50,000,000ක) ණයකර නිකුතුවක් සිදු කෙරෙන අතර, ඊට හිමිවන අධිඉල්ලුමත් සමගින්ම තවත් ණයකර කොටස් මිලියන 30ක් නිකුත් කිරීමට සැලසුම් කර තිබේ.

සමාගමට අනුව නිකුත් කෙරෙන සමස්ත ණයකර කොටස් සංඛ්‍යාව මිලියන 80ක් ලෙස සටහන්ව ඇති අතර, සෑම ණයකර කොටසක්ම රුපියල් 100ක් බැගින් මිල කෙරී තිබේ. ඒ අනුව සමස්ත ණයකර නිකුතුවේ වටිනාකම රුපියල් බිලියන 8කි.

කෙසේ වෙතත් අදාළ ණයකර නිකුතුව සම්බන්ධයෙන් කොළඹ කොටස් හුවමාරුවෙහි අනුමැතිය හිමිවිය යුතුව ඇතැයි LOLC හෝල්ඩිංග්ස් පීඑල්සී සමාගම වැඩිදුරටත් සඳහන් කරයි.

Visits: 127