පැයක් තුළ කොටස් හුවමාරුවෙහි සීඝ්‍ර වර්ධනයක්

අද (ජූලි 04දා) දිනයේදී කොළඹ කොටස් හුවමාරුවෙහි ගනුදෙනු ආරම්භවී පළමු පැය අවසන් වන විට එහි සියලු කොටස් මිල දර්ශකය (ASPI) සහ ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුවර්ස් ශ්‍රී ලංකා (S&PSL20) යන දර්ශක සීඝ්‍ර ඉහළ යාමක් පෙන්නුම් කළ බව වාර්තා වෙයි.

ඒ අනුව අද පෙරවරු 10.30 වන විට සියලු කොටස් මිල දර්ශකය ඒකක 9,884.61ක් ලෙස සටහන්ව තිබූ අතර, එය පෙර දිනයේ පැවැති අගය හා සැසඳීමේදී ඒකක 441.66කින් එනම් 4.68%ක වර්ධනයකි.

එසේම ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුවර්ස් ශ්‍රීලංකා 20 දර්ශකය ඒකක 2,882.46ක් ලෙස සටහන්ව තිබූ අතර, එය පෙර දිනයේදී පැවැති අගය හා සැසඳීමේදී ඒකක 168.81ක් එනම් 6.22%ක වර්ධනයකි.

මෙහිදී විශේෂයෙන්ම අද දිනයේ පෙරවරු 9.30ට ගනුදෙනු ආරම්භවී පළමු විනාඩිය ගතවීමේදී සියලු කොටස් මිල දර්ශකය ඒකක 9,442.95 සිට 9,818.43ක් දක්වා සීඝ්‍ර වර්ධනයක් පෙන්නුම් කළේය. එසේම ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුවර්ස් ශ්‍රී ලංකා 20 දර්ශකයත් ඒකක 2,716.65 සිට 2,860.98ක් දක්වා සීඝ්‍ර වර්ධනයක් පෙන්නුම් කළේය.

පසුගිය සති අන්තයේදී රජය සිදුකළ දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය පිළිබඳ යෝජනා සම්මත කරගැනීමෙන් අනතුරුව අද දිනයේදී කොළඹ කොටස් හුවමාරුවෙහි දැවැන්ත වර්ධනයක් අපේක්ෂා කෙරිණි.

එහිදී බැංකු සමාගම් තුළ පවතින විශ්වාසය ඉහළ යෑමත් සමගින්ම ඒවායේ කොටස් වටිනාකම් ඉහළ යනු ඇතැයි බලාපොරොත්තුව විය.

ඒ අනුව අද දිනය සඳහා ගනුදෙනු ඇරඹී පළමු පැය තුළදී වඩාත් සක්‍රීයව ගනුදෙනු වූ කොටස් අතර බැංකු සමාගම් කිහිපයක්ම පවතින බව දැනගත හැකි විය.

මෙහිදී ගනුදෙනු 1,134ක් යටතේ සම්පත් බැංකුවෙහි කොටස් 2‍්,661,211ක් ගනුදෙනු වී ඇති අතර එහි පිරිවැටුම රුපියල් 166,947‍්,235.00ක් ලෙස සටහන්ව තිබේ. එසේම මහ බැංකුවෙහි බැඳුම්කර මිලදී ගැනීමේ ප්‍රාථමික ගනුදෙනුකරුවෙකු ලෙස කටයුතු කරන කැපිටල් එලායන්ස් පීඑල්සී සමාගම තුළද කැපී පෙනෙන කොටස් ගනුදෙනු සිදු වීමක් වාර්තා වී තිබේ.

විශේෂයෙන්ම ණය ප්‍රතිව්‍යුහගතකරණය හරහා මෙම ප්‍රාථමික ගැණුම්කරුවන්ගේ ලාභ ඉහළ යෑමත් සමගින්ම මෙම තත්ත්වය උදා වී තිබෙන බව තැරැව්කාර සමාගම් සඳහන් කරයි.

Visits: 149