මහ බැංකුව සිය පොළී අනුපාත තවදුරටත් පහත හෙළයි

ශ්‍රී ලංකා මහ බැංකුව සිය ප්‍රතිපත්ති පොළී අනුපාත තවදුරටත් පහත හෙළමින් සිය දැඩි මුදල් ප්‍රතිපත්තිය තවදුරටත් ලිහිල් කිරීමට පියවර ගෙන ඇතැයි පවසයි.

ඊයේ පැවැති මහ බැංකුවෙහි මුදල් මණ්ඩල හමුවේදී ගනු ලැබූ තීරණ ප්‍රකාශයට පත් කරමින් මහ බැංකුව අද සිය මුදල් ප්‍රතිපත්ති විවරණය  නිවේදනය කරමින් මේ බව සඳහන් කරයි.

ඒ අනුව මහ බැංකුවෙහි නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය 11%ක් දක්වාත් නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය 12%ක් දක්වා පදනම් අංක 200 කින් එනම් 2%කින් පහත හෙළීමට මහ බැංකුව තීරණය කර ඇත.

පසුගිය ජූනි 01 වැනිදා සිදුකළ මුදල් ප්‍රතිපත්ති විවරණයට අනුව මෙම නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය 13%ක් සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය 14%ක අගයක් ගෙන තිබුණි. එය ඊට පෙර පැවැති අගය හා සාපේක්ෂව පදනම් අංක 250ක අඩුවීමක් විය.

විශේෂයෙන්ම වර්තමානයේදී ආර්ථිකයේ පවතින සහ අනාගයේදී අපේක්ෂිත වර්ධනයන් සැලකිල්ලෙන් විශ්ලේෂණය කරමින් මහ බැංකුවෙහි මුදල් මණ්ඩලය මෙම තීරණය ගත් බව මහ බැංකුව පවසයි.

එහිදී ආර්ථිකය වෙත හැකි සිය උපරිම අවස්ථාව වෙත ළගාවීම සඳහා අවස්ථාව ලබාදීම සහ මැදිකාලීනව උද්ධමනය තනි මැදි අගයකට පත් කරගැනීමේ අපේක්ෂාවත් පවතින බවත් මහ බැංකුව පවසයි.

එසේම මෙලෙස පිට පිට මුදල් ප්‍රතිපත්ති විවරණ දෙකකදී පිළිවෙලින් පදනම් අංක 250කින් සහ 200කින් පොළී අනුපාත පහත හෙළීම හරහා රජයේ සුරැකුම්පත් අද වනවිට මුහුණ දෙන අවදානම අවම වනු ඇතැයිද මහ බැංකුව අදහස් කරගනෙ සිටියි.

මේ අතර මහ බැංකුවෙහි මෙම ප්‍රතිපත්තිමය තීරණයත් සමගින්ම වෙළෙඳ පොළ පොළී අනුපාත, විශේෂයෙන්ම ණය පොළී අනුපාත තවදුරටත් පහත හෙළීමක් සිදුවනු ඇතැයි අපේක්ෂා කරන බවත්, මෙම වාසිය ජනතාව වෙත ලබා දෙන ලෙස මහ බැංකුව සියලුම වාණිජ බැංකු වෙත දැනුම් දෙන බවත් සඳහන් කර සිටියි.

ඒ හරහා ඉදිරි කාලසීමාවේදී ආර්ථිකයේ නැවත යථාවත්වීමකට අවස්ථාව ලබා දෙන ලෙසත් මහ බැංකුව දැනුම් දී සිටියි.

Views: 134