සර්වෝදය ඩිවලොප්මන්ට් ෆිනෑන්ස් සමාගම රජයට අයත් ශ්‍රී ලංකා ඉතිරි කිරීමේ බැංකුව අත්පත් කරගැනීමට යයි

කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත මූල්‍ය සමාගමක් වන සර්වෝදය ඩිවලොප්මන්ට් ෆිනෑන්ස් පීඑල්සී (SDF.N0000) සමාගම රජයට අයත් ව්‍යවසායක් වන ශ්‍රී ලංකා ඉතිරිකිරීමේ බැංකුව (SLSB) අත්පත් කරගැනීමේ අදහසකින් පසුවන බව පවසයි.

පසුගියදා පළ වුණු පුවත් පත් වාර්තාවක් සම්බන්ධයෙන් හෙළිදරව්වක් කරමින් සර්වෝදය ඩිවලොප්මන්ට් ෆිනෑන්ස් පීඑල්සී සමාගම ඊයේ දිනයේදී කොටස් හුවමාරුව වෙත ලිපියක් මගින් මේ බව අනාවරණය කර සිටියි.

ඒ අනුව ශ්‍රී ලංකා ඉතිරිකිරීමේ බැංකුව අයත් මුදල්, ආර්ථික ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශය වෙත මේ සම්බන්ධයෙන් වන කැමැත්ත තමන් දැනුම් දී ඇති බවත්,  සර්වෝදය ඩිවලොප්මන්ට් ෆිනෑන්ස් පීඑල්සී සමාගම සඳහන් කරයි.

මෙම අත්පත් කරගැනීම ආර්ථික ප්‍රතිසංස්කරණ සහ ප්‍රතිව්‍යුහගත කිරීමේ රජයේ උත්සාහය යටතේ රජය සතු ව්‍යවසායයන් අත්හැරීමේ කටයුත්ත අනුව සිදු වන්නක් බවත් එම සමාගම වැඩිදුරටත් පවසා සිටියි.

2006 වසරේදී බැංකු පනත යටතේ ස්ථාපිත කෙරුණු ශ්‍රී ලංකා ඉතිරිකිරීමේ බැංකුවේ මෙහෙයුම් කටයුතු  2008 මාර්තු 10 වැනිදා රජයට අයත් බලපත්‍රලාභී විශේෂිත බැංකුවක් ලෙස ආරම්භ කර තිබේ.

එසේම 2010 දී එය ජාතික සංවර්ධන භාර අරමුදල (NDTF) සමගින් ඒකාබද්ධ කෙරිණි. 2019 වසරේදී ජාතික ඉතිරි කිරීමේ බැංකුව (NSB) මගින් ශ්‍රී ලංකා ඉතිරිකිරීමේ බැංකුව අත්පත් කරගැනීමෙන් අනතුරුව එය ජාතික ඉතිරිකිරීමේ බැංකුවෙහි පූර්ණ හිමිකාරීත්වය සහිත පරිපාලිත සමාගමකි.

Visits: 342