ශ්‍රී ලංකාවට ලෝක බැංකුවෙන් ඩොලර් මිලියන 700ක්?

ලබන සතියේදී ලෝක බැංකුව මගින් ශ්‍රී ලංකාව වෙත එක්සත් ජනපද ඩොලර් මිලියන 700ක ණය මුදලක් අනුමත කිරීමේ වැඩි අවස්ථාවක් පවතින බව රොයිටර් පුවත් සේවය වාර්තා කරයි. ලෝක බැංකු ආරංචි මාර්ග උපුටා දක්වමින් එම පුවත් සේවය ඊයේ (19දා) මේ පිළිබඳව සඳහන් කළේය.

විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ අයවැය සහ සුභසාධන කටයුතු සඳහා ලබාදෙන සහයෝගයක් ලෙස මෙම මුදල් අනුමත කෙරෙනු ඇතැයි සඳහන් වෙයි. ලබන ජූනි 28 වැනිදා පැවැත්වෙන ලෝක බැංකුවෙහි විධායක මණ්ඩල හමුවේදී මේ තීරණය ගනු ඇතැයි පැවසෙයි.

එහිදී ඩොලර් මිලියන 500ක මුදලක් අයවැය සඳහා වන සහායක් ලෙස අනුමත වනු ඇති බවත්, එය ඩොලර් මිලියන 250 බැගින් වූ කොටස් දෙකක් යටතේ හිමිවනු ඇති බවත් එම ලෝක බැංකු ආරංචි මාර්ග සඳහන් කර තිබේ.

මේ අතරින් පළමු ණය මුදල් කොටස ලෝක බැංකුවෙහි අධ්‍යක්ෂ මණ්ඩලයේ අනුමැතිය හිමිවීමත් සමගින්ම බොහෝ දුරට ලබන ඔක්තෝබර් මාසයේදී නිකුත් කෙරෙනු ඇති බවත් අදහස වී තිබේ. එහිදී ලෝක බැංකුව ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගතකරණය සහ ලබන සැප්තැම්බර් මාසයේදී සිදු කිරීමට නියමිත ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අතර පවතින වැඩසටහනේ පළමු විවරණය පිළිබඳව අවධානය යොමු කරනු ඇතැයි පැවසෙයි.

එසේම ලෝක බැංකුව ලබා දෙන ඉතිරි ඩොලර් මිලියන 200ක මුදල ශ්‍රී ලංකාවේ දුප්පතුන් සඳහා වන වැඩසටහන් වෙත ලබාදීමටත් සැලසුම් කෙරී ඇතැයිද ලෝක බැංකු ආරංචි මාර්ග සඳහන් කරන බව රොයිටර් පුවත් සේවය සඳහන් කර තිබේ.

ශ්‍රී ලංකාව සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අතර පවතින විස්තීර්ණය ණය පහසුකම් එකඟතාව යටතේ ඉදිරි වසර හතරක කාලය තුළ ආසන්න වශයෙන් ඩොලර් බිලියන 3ක ණය මුදලක් ශ්‍රී ලංකාව වෙත හිමිවීමට නියමිතව තිබේ. ඒ යටතේ පළමු ණය වාරිකය ලෙස ඩොලර් මිලියන 330ක් පසුගිය මාර්තුවේදී මෙරටට හිමි විය.

එසේම ලෝක බැංකුව, ආසියානු සංවර්ධන බැංකුව සහ අනෙකුත් බහුපාර්ශ්වීය ආයතන හරහා තවත් ඩොලර් බිලියන 4කට ආසන්න අතිරේක අරමුදල් සම්පාදනයක් සම්බන්ධයෙන්ද ශ්‍රී ලංකාව අපේක්ෂාවෙන් පසුවෙයි.

Visits: 62