රථ වාහන ආනයනය සම්බන්ධයෙන් CMTA බලධාරීන් වෙත යෝජනා දෙකක් ඉදිරිපත් කරයි

රථ වාහන ආනයනය යථා තත්ත්වයට පත් කිරීම සම්බන්ධව මෑතක දී විවිධ මාධ්‍ය තුළ කතා බහට ලක් වීම පිළිබඳව අවධානය යොමු කරමින් සිලෝන් මෝටර් ට්‍රේඩර්ස් සංගමය (CMTA) සිය අදහස් දැක්වීමක් සිදු කර සිටියි.

ආර්ථිකයට ප්‍රතිලාභ සැලසීම, ජනතාවගේ ප්‍රවාහන හා ගමනාගමන අවශ්‍යතා සපුරාලීම සහ රාජ්‍ය ආදායම සහතික කිරීම කෙරෙහි අවධානය යොමු කරමින් CMTA විසින් ඒ අනුව මේ සම්බන්ධයෙන් අදාළ බලධාරීන් වෙත පුළුල් යෝජනා ඉදිරිපත් කර තිබේ.

මෙහිදී ප්‍රධාන කොටස් 02කින් යුත් මෙම යෝජනාවේ පළමු කොටසින් අවධාරණය කරන්නේ වාහන ආනයනය සඳහා වූ අත්හිටුවීම ඉවත් කිරීම සඳහා අනුගමනය කළ හැකි ක්‍රමානුකූල ප්‍රවේශය පිළිබඳවයි.

මෙම මූලික අදියරේ දී මෝටර් රථ සහ ත්‍රිරෝද රථ නැවත ස්ථාපිත කිරීම හා ඉන් පසු වාණිජ පරමාර්ථය සඳහා වූ රථ වාහන සහ අවසානයේ මගී රථ වාහන නැවත ස්ථාපිත කිරීම සිදු කිරීමට යෝජිත කර ඇත.

එසේම ආනයන අමතර 130% ක වැඩි කළ බදු තන්ත්‍රයකට යටත් විය යුතු බවට මෙම යෝජනා ක්‍රමයේ දෙවන කොටස මඟින් යෝජනා කරයි. මෙම ක්‍රමානුකූල ප්‍රවේශය සෑම කාර්තුවකටම 15% ක අමතර බදු අඩු වීමක් සහිතව දෙවසරක් තුළ බදු ව්‍යුහය එහි වර්තමාන මට්ටමට ගෙන ඒම අරමුණු කරයි. එවැනි යෝජනා ක්‍රමයක් මගින් තහනම ඉවත් කළ පසු අධික වාහන ආනයනය දැඩි ලෙස අධෛර්යමත් කරනු ඇත.

රටේ විදේශ විනිමය සංචිත ආරක්ෂාව සඳහා නියාමනය කරන ලද තිරසාර ආනයන පිළිවෙත්වල අවශ්‍යතාවය CMTA විසින් අවධාරණය කරන ලද එක් තීරණාත්මක අංගයකි. පැරණි වාහන ආනයන කිරීම සම්බන්ධව දැඩි විරෝධය පළ කරන CMTA, ඒ හරහා පාරිසරික ගැටලු, රථ වාහනවල ගුණාත්මක බව, ආරක්ෂාව සහ කල්පැවැත්ම පිළිබඳ ගැටලු, ඉන්ධන පාරිභෝජනයේ ඍණාත්මක බලපෑම් යනාදි අභියෝග රාශියකට මුහුණ දීමට පාරිභෝගිකයින්ට සිදු වන බව පහදා දෙයි.

එසේම රථ වාහන අමතර කොටස් ආනයනය කිරීමේ අවශ්‍යතාවය සැලකිය යුතු ලෙස ඉහළ යන බැවින් එමඟින් විදේශ විනිමය තවදුරටත් පිටතට ගලා යෑමට CMTA සිය විරෝධය පළ කරයි. තවද, සැපයුම්කරුවන්ගේ ණය මත වාහන ආනයනය කිරීම සම්බන්ධව CMTA සිය විරෝධය පළ කරන්නේ සැපයුම්කරුවන්ට නීති විරෝධී ක්‍රම මගින් අරමුදල් යැවීම සඳහා පහසුකම් සැලසීමේ හැකියාව ඇති බැවිනි.

රථ වාහන ආනයනය සඳහා මනාව සැලසුම් කරන ලද රාමුවක් ක්‍රියාත්මක කිරීම උදෙසා අදාළ බලධාරීන් සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමට ඇති අවශ්‍යතාව CMTA හි මෙම තිරසර යෝජනාව මගින් පිළිබිඹු කරයි. දිගුකාලීන තිරසාරභාවය සහ වග කිව යුතු ආර්ථික වර්ධනය කෙරෙහි අවධානය යොමු කරමින්, සමස්ත ශ්‍රී ලාංකේය ජනතාව වෙත ප්‍රතිලාභ ලබා දෙන ධනාත්මක වෙනස්කම් ඇති කිරීමට CMTA නිරතුරුවම උත්සාහ කරයි.

ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලයට අනුබද්ධිත, 1919 වසරේ දී ආරම්භ කරන ලද සිලෝන් මෝටර් ට්‍රේඩර්ස් සංගමය (CMTA) දේශීයව පත් කරන ලද බලයලත් ඒජන්තවරුන් හරහා වාහන නිෂ්පාදකයින් නියෝජනය කරන එකම වෙළඳ ආයතනයයි. මෙය ආසියානු කලාපයේ ජ්‍යෙෂ්ඨතම රථ වාහන වෙළෙද සංගමය ද වේ.

CMTA සාමාජික ආයතන විසින් ශ්‍රී ලාංකික පුරවැසියන් දස දහස් ගණනක් සේවයේ යොදවා පුහුණු කරන අතර ඉංජිනේරු හා කළමනාකරණයේ වඩාත් හොඳ අන්තර්ජාතික ප්‍රායෝගික භාවිතයන් ලබා දෙමින් ජාත්‍යන්තර මට්ටමින් රැකියා කළ හැකි පිරිසක් නිර්මාණය කිරීමට දායක වෙයි. CMTA සාමාජිකයින් සියලු දෙනාවම ඔවුන් නියෝජනය කරන මෝටර් රථ නිෂ්පාදකයන් විසින් නිසි ලෙස අධීක්ෂණය කරනු ලබයි.

Visits: 88