ජුලි 01 සිට විදුලි ගාස්තුවේ අඩුවීමක්

ජුලි මස 1 වැනිදා සිට බලාත්මක වන නව විදුලි ගාස්තු සංශෝධනයන් ජුනි මස 30 වැනි දින ප්‍රකාශයට පත් කරන බව ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව සඳහන් කරයි.

ජූලි මස සිදු කිරීමට නියමිත විදුලි ගාස්තු සංශෝධනයෙන් විදුලි බිල අඩුවන ආකාරය ලංකා විදුලිබල මණ්ඩලය ඉදිරිපත් කර ඇති යෝජනාවලිය මහජන උපයෝගිතා කොමිෂන් සභාව ප්‍රකාශයට පත් කර තිබේ.

එඒ අනුව ලංවිම ඉදිරිපත් කර ඇති යෝජිත ගාස්තු සංශෝධනය පිළිබඳ ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ ප්‍රතියෝජනාව මහජනතාවගේ දැන ගැනීම පිණිස ජුලි මස 1 වැනි දින ප්‍රසිද්ධ කිරීමට පියවර ගෙන තිබේ.

විදුලිබල මණ්ඩලය ඉදිරිපත් කර ඇති යෝජනාවට අනුව ඒකක 0 සිට 30 දක්වා කාණ්ඩය පරිභෝජනය කරනු ලබන පාරිභෝගිකයන්ගේ විදුලි බිල 26.9%කින් අඩුවේ. ඒකක 31 සිට 60 දක්වා පරිභෝජනය කරන පාරිභෝගිකයන්ගේ බිලෙන් 10.8%ක් අඩුවන අතර ඒකක 61 සිට 90 දක්වා පරිභෝජනය කරන පාරිභෝගිකයන්ගේ බිලෙන් විදුලි බිල 7.2%කින් අඩු කෙරේ.

ඒකක 91 සිට 180 දක්වා කාණ්ඩයේ විදුලි බිල අඩු කිරීම සිදුවන්නේ 3.4%කින් වන අතර ඒකක 180ට වැඩි පාරිභෝගිකයන්ගේ විදුලි බිල අඩු වන්නේ 1.3%ක් ලෙසය.

විදුලිබල මණ්ඩලය යෝජනා කර ඇති විදුලි ගාස්තු සංශේධනයට අනුව ආගමික ස්ථාන සහ පුණ්‍යායතන වල විදුලි බලෙහි අඩුවීම 3.2%කි. හෝටල් ක්ෂේත්‍රයේ විදුලි බිලෙහි අඩුවීම 12.6% කි.

කෙසේ වෙතත් කර්මාන්ත අංශය, පොදු කාණ්ඩය, වීථි ලාම්පු සහ රාජ්‍ය ආයතන යන කාණ්ඩයේ විදුලි බිලෙහි කිසිදු වෙනසක් සිදු නොවේ.

මේ අතර, මෙම ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් ජුනි 20 වැනි දින දක්වා මහජනතාවට සිය අදහස් හා යෝජනා ලිඛිතව ඉදිරිපත් කළ හැකි අතර ඒ සම්බන්ධයෙන් වාචික අදහස් දැක්වීමටද අවස්ථාව හිමිව ඇති බව ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව වැඩිදුරටත් සඳහන් කරයි.

Visits: 86