Hayleys Advantis හා Cordelia Cruises එක්ව දිවයින වටා අති සුඛෝපභෝගී මගී නෞකා සේවාවක් අරඹයි

ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තයේ නව යුගයක ආරම්භය සනිටුහන් කරමින් හේලීස් සමූහයේ භාණ්ඩ ප‍්‍රවාහන සහ ක‍්‍රමෝපාය (Transportation and Logistics) අංශය වන Advantis, පසුගියදා මෙරටට සම්ප‍්‍රාප්ත වුණු Cordelia Cruises සමාගමට අයත් Ms Empress නම් අති සුඛෝපභෝගී මගී නෞකාව සාදරයෙන් පිළිගත්තේය.

ඉන්දියාවේ ප‍්‍රමුඛතම නැව් සමාගමක් වන Cordelia Cruises සමඟින් ඇති කරගත් මෙම නව හවුල්කාරිත්වය උපරිම ලෙස භාවිත කරමින් චෙන්නායි සිට සංචාරකයින් 1,600ක් රැගෙන සිය මංගල ජාත්‍යන්තර ගමන ලෙස හම්බන්තොට වරායට සපැමිණි මෙම සුඛෝපභෝගී නැව Advantis කණ්ඩායම උණුසුම් ලෙස පිළිගත්තේය.

මෙම සුවිශේෂී අවස්ථාව පිළිබඳව අදහස් පළ කරමින් හේලීස් සමූහයේ සභාපති සහ ප‍්‍රධාන විධායක මොහාන් පණ්ඩිතගේ මහතා පැවසුවේ ”Cordelia Cruises සහ එම සුඛෝපභෝගී නෞකාවෙන් මෙරටට පැමිණි සංචාරකයින් පිරිසක් පිළිගැනීමට ලැබීම ගැන අපි සතුටු වෙනවා. සංචාරක වටිනාකම් දාමය අලූත්කිරීමට සහ වාණිජමය වශයෙන් සැලකිය යුතු අවස්ථා විවර කිරීමට අප ගත් උත්සාහයේ කැපීපෙනෙන ජයග‍්‍රහණයක් අද දින සනිටුහන් කිරීමට හැකි වීම සතුටක් වගේම අප රට ජාත්‍යන්තර වශයෙන් ගොඩනගා ගෙන ඇති කීර්ති නාමය සහ අවස්ථාවන් ප‍්‍රයෝජනයට ගනිමින් නැව් සඳහා ප‍්‍රමුඛ පෙළේ ගෝලීය කේන්ද්‍රස්ථානයක් බවට පත් කිරීමට අප අරමුණු කරගෙන සිටිනවා.’’ යනුවෙනි.

Advantis සහ Cordelia Cruises සිය ප‍්‍රවීණත්වය සහ සම්පත් ඒකාබද්ධ කිරීමත් සමඟින්, ශ‍්‍රී ලංකාවේ සුවිශේෂත්වය ලෝකයට විවර කිරීමටත් පෙර අත් නොවිඳි ආකාරයේ සුවිශේෂී අත්දැකීම් සොයා යන සුඛෝපභෝගී සංචාරකයින් සඳහා වන ඉහළ පෙළේ ගමනාන්තයක් බවට ශ්‍රී ලංකාව පත් කිරීම ඔවුන්ගේ ඉලක්කය වෙයි.

Cordelia Cruises සභාපති යර්ගන් බයිඕම් පැවසුවේ ‘‘Advantisසමඟ වන අපගේ හවුල්කාරිත්වය යනු දකුණු ආසියාව පුරා සිටින සංචාරකයින්ට ශ‍්‍රී ලංකාව සහ ඉන්දියාව ප‍්‍රමුඛ ගමනාන්තයන් බවට පත් කිරීමේ පළමු පියවර ලෙස සැලකිය හැකියි. මෙම අද්විතීය සහ විවිධත්වයෙන් අනූන නිවාඩුවක් ගත කළ හැකි ගමනාන්තයන් ඒකාබද්ධ කිරීමෙන් අපි සංචාරකයින් සඳහා නව සීමාවන් සලකුණු කිරීමට හා ජාතීන් දෙකෙහිම ආර්ථික දියුණුව ඉහළ නැංවීමට අරමුණු කරනවා.’’ යනුවෙනි.

MS Empress විවිධ කාණ්ඩ පහක් යටතේ කැබින් 796 කින් සමන්විත වෙයි.අති නවීන පහසුකම්වලින් සපිරි ඒ සෑම කැබින් එකක්ම එහි ගමන් ගන්නා මගීන් 1,600 කට අසමසම සුඛෝපභෝගී අත්දැකීමක් ලබා දෙයි.එහි මගීන්ට දිවයින වටා අමතක නොවන අත්දැකීමක් ලබා දෙමින් මෙම නැව 2023 ජුනි 5 වන දින චෙන්නායි වරායෙන් ශ‍්‍රී ලංකාව වෙත සිය මංගල ගමන ඇරඹීය.

‘‘ශ‍්‍රී ලංකාව දුපතක් වීම නිසා සියවස් ගණනාවක් පුරා සමුද්‍ර වෙළඳාම සහ සංචාරක ක්ෂේත‍්‍රය සඳහා එය ආකර්ෂණීය කේන්ද්‍රස්ථානයක් වී තිබෙනවා. කෙසේ වෙතත්, වර්තමානයේදී එහි වාසි සහගත ස්වභාවයෙන් සම්පූර්ණයෙන් උපරිම ලෙස භාවිත කිරීමට අපට තවමත් හැකි වී නෑ. Cordelia Cruises සමඟ අත්වැල් බැඳ ගැනීමෙන්, අපට දැන් ශ‍්‍රී ලංකාවේ අද්විතීය උරුමය, මනස්කාන්ත ස්වභාවික සෞන්දර්යය සහ සංස්කෘතික විවිධත්වය අත්විඳීමට සංචාරකයින්ට ඉඩ සලසමින් රට වටා පළමු වරට සිදුකෙරෙන සුඛෝපභෝගී මගී නෞකා සේවා සඳහා පහසුකම් සැලසීමට හැකි වී තිබෙනවා.නැව් මගින් මගී ප‍්‍රවාහන සේවා කටයුතු ආරම්භ කළ හැකියි.තවද ඉදිරි මාස හතර ඇතුළත අවම වශයෙන් සංචාරකයින් 80,000ක් මෙරටට ආකර්ෂණය කර ගැනීමට Cordelia කණ්ඩායම සමඟ සමීපව සහයෝගයෙන් කටයුතු කිරීමට අප බලාපොරොත්තු වනවා.’’ යනුවෙන් මේ පිළිබඳව අදහස් දක්වමින් Advantisකළමනාකාර අධ්‍යක්ෂ, රුවන් වෛද්‍යරත්න මහතා පැවසුවේය.

Advantis සමූහයේ සංචාරක සහ ගුවන් සේවා (Travel and Aviation) අංශය මෙහි විකුණුම් නියෝජිතයා ලෙස කටයුතු කරන අතර Advantis සමූහයේ අනුබද්ධිත සමාගමක් වන Clarion Shipping ශ‍්‍රී ලංකාව තුළ Cordelia Cruises සඳහා වරාය කටයුතු නියෝජිතවරයා ලෙස කටයුතු කරනු ඇත.

Visits: 130