බංග්ලාදේශයේ Lankan Alliance Finance සමාගම ‘Lankan’ හලයි

බංග්ලාදේශයේ ක්‍රියාත්මක බැංකු නොවන මූල්‍ය සමාගමක් වන Lankan Alliance Finance Ltd. සමාගම සිය නම Alliance Finance PLC ලෙස වෙනස් කිරීමකට ලක් කර ඇතැයි එරට මහ බැංකුව පවසයි.

බංග්ලාදේශ මහ බැංකුව මගින් එරට බැංකු නොවන මූල්‍ය ආයතන වෙත ලබා දුන් උපදෙස් අනුව අදාළ බැංකු සීමාසහිත (Ltd) සමාගමක සිට පොදු සීමිත සමාගමක් (PLC) බවට පත්වීමේ අවස්ථාවක් ලෙස මෙම නම් වෙනස් කිරීම සිදු කර තිබේ.

1994 සංශෝධිත සමාගම් පනත යටතේ මෙලෙස සීමාසහිත සමාගම්, පොදු සීමිත සමාගම් බවට පත්වෙමින් සිටියි. 2020 වසරේදී මෙම සංශෝධන ක්‍රියාත්මක විය.

කෙසේ වෙතත් Lankan Alliance Finance Ltd. සමාගම Alliance FinancePLC ලෙස වෙනස් කිරීමකට ලක් කිරීමේදී එහි තිබූ Lankan යන කොටස ඉවත් කිරීමට හේතුව පිළිබඳව පැහැදිලිව අනාවරණය වී නොමැති බවත් බංග්ලාදේශ මාධ්‍ය සඳහන් කරයි.

2018 වසරේදී ස්ථාපිත කෙරුණු Lankan Alliance Finance Ltd. සමාගම ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර ඇති කරගත් හවුල්කාරීත්වයක් සමගින් පිහිටවුණු බැංකු නොවන මූල්‍ය සමාගමකි. එහි ප්‍රධාන කාර්යාලය බංග්ලාදේශයේ ඩකා නුවර පිහිටා තිබේ.

Lankan Alliance Finance Ltd. සමාගම සඳහන් කරන ආකාරයට එහි ප්‍රධානතම අනුග්‍රාහකයා වන්නේ ශ්‍රී ලංකාවේ ප්‍රධාන පෙළේ රාජ්‍ය බැංකුවක් වන මහජන බැංකුවට අනුබද්ධිත පරිපාලිත සමාගමක් වන පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී (People’s Leasing and Finance PLC) සමාගමයි.

එම සමාගම සතුව Lankan Alliance Finance Ltd. තුළ ඇති කොටස් ප්‍රතිශතය 51%කි.

එසේම Lankan Alliance Finance Ltd. හි කොටස් අතරින් 10%ක් Summit Holdings ltd. සමාගම වෙත හිමිව තිබේ. එසේම තවත් 10%ක් Green Delta Insurance Company Ltd. වෙත හිමිය. 4%ක ප්‍රතිශතයන් Concept Knitting Ltd. සමාගම වෙත හිමිව ඇත.

Lankan Alliance Finance Ltd. සමාගම සඳහන් කරන ආකාරයට එහි කොටස් අතරින් 75%ම ආයතන සහ සමාගම් වෙත හිමිය. 25%ක් තනි පුද්ගලයන් වෙත හිමිය.

පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී සමාගම නියෝජනය කරමින් Lankan Alliance Finance Ltd. හි අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන් ලෙස එහි වත්මන් සභාපති මයිකල් ප්‍රදීප් අමිර්තනායගම්, ප්‍රධාන විධායක නිලධාරී/සාමාන්‍යාධිකාරී ෂමින්ද්‍ර මර්සිලීන්, නයනප්‍රිය ලක්සඳ ගුණවර්ධන, රොහාන් පතිරගේ, උදේශ් ගුණවර්ධන යන මහත්වරුන් කටයුතු කරයි.

Visits: 163