කොටස් 2,199,611ක් සමගින් ප්‍රකාශ් ෂාෆ්ටර් කෙල්සි ඩිවලොප්මන්ට් පීඑල්සී අධ්‍යක්ෂ මණ්ඩලයෙන් ඉවත් වෙයි

කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත කෙල්සි ඩිවලොප්මන්ට් පීඑල්සී සමාගමෙහි අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙකු වූ ප්‍රකාශ් ආනන්ද් ෂාෆ්ටර් මහතා එම ධුරයෙන් ඉවත්වීමට තීරණය කර ඇතැයි පවසයි.

ඒ අනුව හෙට දිනයේ (මැයි 26) සිට ක්‍රියාත්මක වන පරිදි මෙම ඉවත්වීම සිදු වීමට නියමිතව තිබේ. ඒ මහතා කෙල්සි ඩිවලොප්මන්ට් පීඑල්සී සමාගමෙහි විධායක නොවන අධ්‍යක්ෂවරයෙකු ලෙස කටයුතු කළේය.

එසේම එම ධුරයෙන් ඉවත්වන අවස්ථාව වනවිට ඒ මහතා සතුව සමාගමෙහි කොටස් 2,199,611ක් පවතින බවත් සඳහන් වෙයි.

ජනශක්ති සමූහයට අයත්ව තිබූ කෙල්සි ඩිවලොප්මන්ට් පීඑල්සී සමාගම පසුගිය වසරේදී බ්ලූ ඕෂන් හෝල්ඩිංග්ස් සමාගම වෙත අලෙවි කිරීම සිදු විය.

ඒ අනුව අද වනවිට කෙල්සි ඩිවලොප්මන්ට් පීඑල්සීහි වැඩිම කොටස් හිමිකාරීත්වය පවතින්නේ බ්ලූ ඕෂන් සමූහයට අයත් බ්ලූ ඕෂන් රෙසිඩෙන්සීස් (පෞද්) සමාගමටයි. එය කොටස් 10,457,564ක් එනම් 60%කි.

එසේම ජනශක්ති සමූහයේ ප්‍රකාශ් ෂාෆ්ටර් සහ රමේෂ් ෂාෆ්ටර් යන සහෝදරයන් දෙදෙනා හට සමාගමෙහි කොටස් 2,199,611 ක් බැගින් හිමිය. එය ප්‍රතිශතයක් ලෙස 13%කි.

මේ අතර සමාගමෙහි නව විධායක නොවන අධ්‍යක්ෂවරයෙකු ලෙස ගාමිණී පීරිස් මහතා පත් කරගත් බවද එම සමාගම නිවේදනය කරයි. පසුගිය අප්‍රේල් 27 වැනිදා මෙම නව පත් කිරීමසිදු කර තිබේ. ඒ වනවිට ඒ මහතා සතුව සමාගමේ කිසිදු කොටස් හිමිකාරීත්වයක් නොමැත.

ඒ අනුව වර්තමානයේදී කෙල්සි ඩිවලොප්මන්ට්පීඑල්සී සමාගමෙහි අධ්‍යක්ෂ මණ්ඩලය වන්නේ සිවරාජා තුමිලන් (සභාපති/ප්‍රධානවිධායක නිලධාරී), සුරනී තුමිලන් (විධායක අධ්‍යක්ෂ), නාමල් ගොඩැල්ලවත්තගේ (විධායක අධ්‍යක්ෂ), සරවනන් නීලකන්දන් (විධායක නොවන අධ්‍යක්ෂ), වසන්ත කුමාර ගලගොඩ (විධායක නොවන අධ්‍යයක්ෂ), බ්‍රැඩ්ලි එමර්සන් (විධායක නොවන අධ්‍යක්ෂ) සහ ගාමිණී පීරිස් (විධායක නොවන අධ්‍යක්ෂ) යන මහත්ම මහත්මීන්ය.

Visits: 205