Airtel සහ Dialog ඒකාබද්ධවීම මුලින්ම කරළියට ආවේ 2016 වසරේදී ලු

ඉන්දියාවේ භාරතී එයාර්ටෙල් සමාගම ශ්‍රී ලංකාව තුළ සිය මෙහෙයුම් පවත්වාගෙන යන සිය පරිපාලිත සමාගම වන භාරතී එයාර්ටෙල් ලංකා සමාගමෙහි මෙහෙයුම් මැලේසියාවේ ආසිආටා සමූහයෙහි පරිපාලිත සමාගමක් වන මෙරට ඩයලොග් ආසිආටා පීඑල්සී සමාගම හා ඒකාබද්ධ කිරීමට යෝජනා වී ඇතැයි පවසයි.

කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත ඩයලොග් පීඑල්සී සමාගම  ඊයේ දිනයේදී ලිපියක් මගින් මේ පිළිබඳව කොටස් හුවමාරුව දැනුවත් කර තිබේ. එසේම ඉන්දීය කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත භාරතී එයාර්ටෙල් සමාගමත් ඊයේ මේ පිළිබඳව කරුණු අනාවරණය කර තිබේ.

ඒ අනුව මෙම ඒකාබද්ධ කිරීම සම්බන්ධයෙන් වන සාකච්ඡා මේ වනවිටත් සිදු කෙරෙමින් පවතින බවත්, ඉදිරියේදී  මේ හා සම්බන්ධ සියලුම නියාමන අධිකාරින්ගෙන් අවශ්‍ය අනුමැතිය ලබා ගැනීම අපේක්ෂාව බව ඩයලොග් සමාගම සඳහන් කර සිටියි.

එසේම එයාර්ටෙල් ලංකාහි මෙහෙයුම් ඩයලොග් හා ඒකාබද්ධ කිරීම සම්බන්ධයෙන් ඩයලොග් පීඑල්සී සමාගමෙහි කොටස්හිමිකරුවන්ගේ මෙන්ම භාරතී එයාර්ටෙල් සමාගමෙහි කොටස් හිමිකරුවන්ගේ අනුමැතියද අවශ්‍ය බවත් සමාගම් දෙකම පවසයි.

මේ අතර ඉන්දියානු මාධ්‍ය සඳහන් කරන ආකාරයට මෙම ඒකාබද්ධවීම යටතේ භාරතී එයාර්ටෙල් සමාගම ඩයලොග් පීඑල්සී සමාගමෙහි යම් කොටස් හිමිකාරීත්වයක් ලබා ගැනීමට බලාපොරොත්තුව සිටියි. එහිදී එයාර්ටෙල් ලංකාහි වටිනාකමට සාධාරණ මුදලක් හා සමාන කොටස් ප්‍රමාණයක් පිළිබඳව යෝජනා වී තිබේ.

කෙසේ වෙතත් එයාර්ටෙල් ලංකා සමාගම සහ ඩයලොග් සමාගම අතර මෙම ඒකාබද්ධ කිරීම පිළිබඳ මුල් කතාබහ ඇති වූයේ 2016 වසරේදී පමණ වන බව ඉන්දියානු මාධ්‍ය පවසයි.

විශේෂයෙන්ම බංග්ලාදේශයේ ක්‍රියාත්මකව පැවැති එයාර්ටෙල් බංග්ලාදේශ මෙහෙයුම් ආසියාටා සමූහයේ බංග්ලාදේශ හස්තය වන Robi Axiata සමගින් ඒකාබද්ධ කිරීමේ අවස්ථාවේදී මේ පිළිබඳ අවධානය යොමුව තිබී ඇත.

මෙම ඒකාබද්ධ කිරීමෙන් අනතුරුව නව සමාගමෙහි 68.7% ක කොටස් ප්‍රතිශතයක් Robi Axiata සමාගම වෙත හිමි වූ අතර එයාර්ටෙල් බංග්ලාදේශ් වෙත හිමි වූයේ 25%ක කොටස් ප්‍රතිශතයකි. ඉතිරි 6.3%ක කොටස් ප්‍රතිශතය NTT DoCoMo සමාගම සතුව පැවතුණි.

භාරතී එයාර්ටෙල් සමාගම සිය එයාර්ටෙල් ලංකා සමාගම යටතේ ශ්‍රී ලංකාව තුළ මෙහෙයුම් ආරම්භ කළේ 2009 වසරේදීය. අද වනවිට එම සමාගම ඩයලොග් සහ මොබිටෙල් යන සමාගම්වලට පසුව මෙරට තෙවැනි විශාලතම දුරකතන සම්පාදකයා ලෙස කටයුතු කරයි. සිව්වැනියා වන්නේ හච් සමාගමයි.

ඒ අනුව මෙලෙස ඩයලොග් සමාගම සහ එයාර්ටෙල් සමාගම අතර ඇති වන ඒකාබද්ධවීමත් සමගින් බිහි වන සමාගම ශ්‍රී ලංකාවේ විශාලතම ජංගම දුරකතන මෙහෙයුම් සමාගම බවට පත්වීමට නියමිතව තිබේ.

අද වනවිට භාරතී එයාර්ටෙල් සමාග සතුව දකුණු ආසියාවේ සහ අප්‍රිකාවේ රටවල් 17ක මිලියන 500ක් පමණ වන පාරිභෝගිකයන් පිරිසක් සිටින බව පවසයි.

Visits: 243