EDB මූලිකත්වයෙන් ජාතික කාබනික සහතික කිරීමේ සලකුණ (NOCM) එළිදැක්වෙයි

ජාතික කාබනික සහතික කිරීමේ සලකුණ (National Organic Certification Mark – NOCM) එළිදැක්වීමේ සහ ප්‍රවර්ධන වැඩසටහනක් කොළඹ ගාලු මුවදොර හෝටලයේදී පසුගිය අප්‍රේල් මස 28 වන දින පැවැත්විණි.

මෙම වැඩසටහන සඳහා යුරෝපා සංගමය (EU) සහ ජර්මනියේ ආර්ථික සහයෝගිතාව සහ සංවර්ධනය පිළිබඳ ෆෙඩරල් අමාත්‍යාංශය (BMZ) මූල්‍යමය දායකත්වය සපයා තිබේ. එසේම GIZ Sri Lanka (Deutsche Gesellschaft für Internationale Zusammenarbeit GmbH) සමඟ සහයෝගීත්වයෙන්, ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ (EDB) ජාතික කාබනික පාලන ඒකකය (NOCU) විසින් මෙම වැඩසටහන  සංවිධානය කරන ලදී.

ජාතික කාබනික සහතික කිරීමේ ලකුණ (NOCM) පාරිභෝගිකයින් අතර විශ්වාසය ගොඩනැගීමට සහ කාබනික ආහාරවල ගුණාත්මකභාවය සහ ප්‍රමිතිකරණය සහතික කිරීම සඳහා අපනයන සංවර්ධන මණ්ඩලයවිසින් සකස් කරන ලදී. දේශීය, සහතික කළ කාබනික නිෂ්පාදකයින්ට ජාතික කාබනික සහතික කිරීමේ ලකුණ (NOCM) සඳහා අයදුම් කළ හැකිය.

ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති ආචාර්ය කිංස්ලි බර්නාඩ් මහතා උත්සව සභාව අමතමින් කියා සිටියේ, “ශ්‍රී ලංකාවේ කාබනික නිෂ්පාදන පාරිභෝගිකයින් මෙම සලකුණට හුරුපුරුදු වනු ඇතැයි අපි බලාපොරොත්තු වෙනවා.එවිට ඔවුන්ට වෙළඳපොළේ ඇති උසස් තත්වයේ නිෂ්පාදන පහසුවෙන් හඳුනා ගැනීමට හැකි වේවි. ජාතික කාබනික ප්‍රමිතිය (NOS) SLS 1324:2018 ප්‍රකාරව සහතික කරන ලද නිෂ්පාදන සඳහා මෙම ලකුණ හරහා නිසි පිළිගැනීමක් සහ වෙළඳපොළ වාසියක් ලැබෙන බව සහතික කිරීමට අපනයන සංවර්ධන මණ්ඩලයකටයුතු කරනවා” යනුවෙනි.

ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය (EDB)යටතේ 2014 දී පිහිටුවන ලද ජාතික කාබනික පාලන ඒකකය (NOCU) ශ්‍රී ලංකාවේ කාබනික කෘෂිකාර්මික නිෂ්පාදන සම්බන්ධ සියලු කටයුතු අධීක්ෂණය කරයි.එහි අවසරය යටතේ, ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය 2018 දී ජාතික කාබනික ප්‍රමිතිය (NOS) SLS 1324:2018 සංශෝධනය කරන ලදී.

ජාතික කාබනික ප්‍රමිතිය මගින් දිවයිනේ කාබනික නිෂ්පාදන සහ නිෂ්පාදන ක්‍රියාවලිය, වනාන්තරවලින් නෙලාගන්නා අස්වැන්න, පසු අස්වනු හැසිරවීම, ගබඩා කිරීම, සැකසීම, ප්‍රවාහනය, ඇසුරුම් කිරීම, ලේබල් කිරීම සහ අලෙවි කිරීම සඳහා නිර්දේශ නියාමනය කරයි.

උසස් තත්වයේ කාබනික නිෂ්පාදන පාරිභෝගිකයින්ට ලබා දීමේදී මෙම ප්‍රමිතිය අනුගමනය කිරීමට ගොවීන් සහ නිෂ්පාදකයින් දිරිමත් කරනු ලැබේ.ජාතික කාබනික සහතික කිරීමේ ලකුණ (NOCM) පාරිභෝගිකයින් සහ මහජනතාව අතර ජාතික කාබනික ප්‍රමිතියෙහි (NOS) අවශ්‍යතා තෘප්තිමත් කරන කාබනික නිෂ්පාදන සඳහා පිළිගැනීම වැඩි දියුණු කිරීමට සහ සත්‍යාපනය කිරීමට උපකාරී වේ.

Visits: 76