සෞදි අරාබිය සහ OPEC+ රාජ්‍යයන් බොරතෙල් නිෂ්පාදන කප්පාදුවකට එකඟතාව, බොරතෙල් මිල ඉහළට

සෞදි අරාබිය සහ OPEC+ සාමාජික රාජ්‍යයන් සිය බොරතෙල් නිෂ්පාදන ස්වේච්ඡාවෙන්ම කප්පාදු කිරීම සඳහා ඊයේ එකඟතාවකට පිවිසි බව වාර්තා වෙයි. ලෝක වෙළෙඳ පොළේ බොරතෙල් මිල ස්ථාවර කිරීමේ අරමුණින් මෙම තීරණය ගෙන ඇත.

ඒ අනුව සෞදි අරාබිය සිය දෛනික බොරතෙල් නිෂ්පාදනය බොරතෙල් බැරල් ලක්ෂ පහකින් අඩු කිරීමට මෙහිදී තීරණය කර ඇත. ලබන මැයි මාසයේ සිට සිදු කරන මෙම කප්පාදුව මෙම වසර අවසන් වන තුරුම ක්‍රියාත්මක වනු ඇතැයි සඳහන් වෙයි.

එසේම රුසියාවත් මෙම වසර අවසන් වන තුරු සිය දෛනික බොරතෙල් නිෂ්පාදනය, බොරතෙල් බැරල් ලක්ෂ පහකින් කප්පාදු කිරීමට තීරණය කර තිබේ. මීට අමතරව එක්සත් අරාබි එමීරය, ක්වේටය, ඉරාකය, ඕමානය සහ ඇල්ජීරියාවත් මෙම කාලසීමාව සඳහා සිය බොරතෙල් නිෂ්පාදන කප්පාදුවට පියවර ගෙන ඇත.

මේ අතරින් එක්සත් අරාබි එමීරය බොරතෙල් බැරල් 144,000ක්, ක්වේටය 128,000ක්, ඉරාකය 211,000ක්, ඕමානය 40,000ක් සහ ඇල්ජීරියාව 48,000ක් ලෙස සිය දෛනික බොරතෙල් බැරල් නිෂ්පාදනය කප්පාදු කරන බව සඳහන් වෙයි.

මෙම තීරණය සම්බන්දයෙන් අදහස් දක්වා ඇති සෞකි බලශක්ති අමාත්‍යාංශය, ලෝක වෙළෙඳ පොළේ බොරතෙල් මිල ගණන් ස්ථායි කරවීම මෙම නිෂ්පාදන කප්පාදුවේ අදහස බව පවසා තිබේ.

මෙම දෛනික බොරතෙල් කප්පාදුව පිළිබඳව  එකඟතාවත් සමගින්ද මෙරට වේලාවෙන් අද පෙරවරු 07.00වනවිට ලෝක වෙළෙඳ පොළේ බොරතෙල් මිල ගණන් කැපී පෙනෙන ඉහළ යාමක් පෙන්නුම් කෙරිණි.

ඒ අනුව WTI බොරතෙල් බැරලයක මිල ඩොලර් 79.75ක් දක්වා 5.39%කින්ද බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල ඩොලර් 84.12ක් දක්වා 5.29%කින් ඉහළ යාම සිදුවිය.

Visits: 122