2022 වසරේදී ජය බහාලුම් පර්යන්ත සමාගමේ ලාභයේ 275% ක වර්ධනයක්

ශ්‍රී ලංකා වරාය අධිකාරියට (SLPA) සම්පූර්ණයෙන්ම අයත් අනු සමාගමක් වන Jaya Container Terminals Limited (JCT Limited) සමාගම 2022 වසර සඳහා මිලියන 608 ක ආදායමක් උපාය ගැනීමට සමත්ව ඇතැයි පවසයි.

ඒ අනුව එම වසර සඳහා වන සමාගමේ ලාභය 2021 වසරේදී හිමි වූ ලාභය මෙන් 275% ක ඉහළ යාමක් ලෙස සටහන්ව තිබේ. එහිදී මූලිකවම මුදල් විනිමය අනුපාත වල සිදු වූ වෙනස්වීම්ද ලාභය ඉහළ යාමට 40%කින් දායකත්වය දක්වා තිබේ.

මේ අතර 2022 සඳහා උපයාගත් ආදායම 2021 වසරට වඩා 104% ක වැඩිවීමක් සහ 2020 හා සැසඳීමේදී 180% ක වර්ධනයකි.

කොළඹ වරාය රටේ ආර්ථිකයට සෘජු බලපෑමක් ඇති කරනු ලබන බැවින් JCT හි ආදායම රටේ ආර්ථිකයට සැලකිය යුතු ලෙස දායකත්වයක් දක්වයි. කොළඹ වරායට අත්‍යවශ්‍ය සේවාවක් වන වරායට පැමිණෙන නැව් සඳහා ඉන්ධන සැපයීම සඳහා JCT හි ගනුදෙනුකරුවන් විශාල පිරිසක් ද මෙහිදී සැලකිය යුතු කාර්යභාරයක් ඉටු කරයි.

එම සමාගම 2008 වසරේ සිට ඔවුන්ගේ ප්‍රධාන ව්‍යාපාර කර්තව්‍ය වන මුහුදු යාත්‍රා සඳහා සමුද්‍ර ඉන්ධන ගබඩා කිරීම සිදු කරනු ලබයි. Low Sulphur Fuel (LSF) සහ Marine Gas Oil (MGO) මෙම ඉන්ධන යටතට අයත් වේ.

අක්කර 9ක් ආවරණය කරමින් මුලදී මෙට්‍රික් ටොන් 35,000ක ධාරිතාවක් ගබඩා කිරීමේ හැකියාව ඇති ඉන්ධන ටැංකි 14ක් යොදාගනිමින් JCT විසින් මෙම ගබඩා කිරීම සිදු කර තිබේ.

ශ්‍රී ලංකාව තුළ පැවති ඉන්ධන අර්බුදය මධ්‍යයේ වුවද අතිවිශිෂ්ට වර්ධනයක් සහ පිරිවැටුමක් අත්කර ගැනීමට JCT සමාගම සමත් වී තිබේ.

මෙයට හේතුව ලෙස පුද්ගලික අංශයේ විවිධ අංශ සඳහා අවශ්‍ය සමුද්‍ර ඉන්ධන සැපයීමට හැකිවීම දැක්විය හැකිය. එයට ඇඟලුම් කර්මාන්තය, සංචාරක කර්මාන්තය සහ තවත් බොහෝ කර්මාන්ත ඇතුළත් වේ. තවද මෙම කර්මාන්ත සඳහා තමන්ගේ අතිරේක සේවාවක් ලෙස JCT විසින් MGO සපයනු ලබන අතර එයද ආදායමේ සහ ලාභයේ වර්ධනයක් ඇති වීමට හේතු විය.

JCT සමාගම ඉහළ සල්ෆර් ඉන්ධන සිට අඩු සල්ෆර් ඉන්ධන දක්වා වෙනස්වීම සාර්ථකව පරිවර්ථනය කිරීම මෙයට සැලකිය යුතු දායකත්වයක් දක්වන ලදී.

2020 දී ජාත්‍යන්තර සමුද්‍රීය සංවිධානයේ (IMO) අවශ්‍යතාවයකට අනුකූලව අඩු සල්ෆර් ඉන්ධන පමණක් සැපයීමට සිදු වීම තුළින් මෙහි ආරම්භය සිදු විය. මෙයද 2022 වර්ෂයේ අදායමට දායකත්වය දක්වන ලදී.

JCT හි සභාපති ලක්මාල් රත්නායක මහතා සහ JCT හි කළමනාකාර අධ්‍යක්ෂ රංජිත් මලිගස්පේ මහතා

JCT හි සභාපති ලක්මාල් රත්නායක මහතා මෙසේ සිය අදහස් දැක්වීය. “ආදායම සහ ලාභය අතින් JCT මෙතරම් ඉහළ තලයකට පැමිණ සිටිනු දැකීම අපට බෙහෙවින් සතුටට කරුණක්. මේ ගමන් මගේදී අපට සහය දුන් සියලු දෙනාට ස්තුතිය ප්‍රකාශ කිරීමට මම මෙය අවස්ථාවක් කරගන්න කැමතියි. වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍ය ගරු නිමල් සිරිපාල ද සිල්වා, වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍යාංශයේ ලේකම් කේ.ඩී.එස් රුවන්චන්ද්‍ර, ශ්‍රී ලංකා වරායේ සභාපති කීත් ඩී. බර්නාඩ් යන මහත්වරුන්ට සහ අනෙකුත් ශ්‍රී ලංකා වරාය අධිකාරියේ නිලධාරීන්ට මම මගේ ගෞරවනීය ස්තුතිය පුද කරනවා.”

“JCT හි සාර්ථකත්වය පිටුපස සිටින අපගේ සියලුම හවුල්කරුවන්ට, පාර්ශවකරුවන්ට සහ කාර්ය මණ්ඩලයට ද මම මෙහිදී බෙහෙවින් ස්තූතිවන්ත වෙනවා. ඔවුන්ගේ සහයෝගය සහ දායකත්වය නොලැබෙන්නට අපට මෙම ගෞරවනීය තලයට පැමිණීමට අපහසු වන්නට තිබුණා. ඉදිරි අනාගතය අප සියලු දෙනාටම වඩ වඩාත් සාර්ථක වේවි යැයි මම බලාපොරොත්තු වෙනවා.” ඔහු වැඩිදුරටත් පවසා සිටියේය.

JCT හි කළමනාකාර අධ්‍යක්ෂ රංජිත් මලිගස්පේ මහතා මෙසේ සිය අදහස් දැක්වීය. “පවතින අභියෝගාත්මක තත්ත්වයන් මධ්‍යයේ වුවද අප සමාගම විසින් අත්කර ගත් මෙම වර්ධනය පිළිබඳව මම බෙහෙවින් සතුටට පත් වෙනවා. මෙම සාර්ථකත්වය සඳහා සහාය දුන් සියල්ලන්ටම ස්තුති කරන අතරම මෙය අප සමාගමේ ඉදිරි දියුණුවට තබන ලද මහඟු අඩිතාලමක් ලෙස මම දකිනවා.”

අඩු වියදමකින් විශාල ඉන්ධන ප්‍රමාණයකට පහසුකම් සැලසීම සඳහා සමාගම දැන් සිය ගබඩා ධාරිතාව වැඩි දියුණු කිරීමේ ක්‍රියාවලියක නිරතව සිටින අතර මෙමගින් JCT පාරිභෝගිකයින්ට අඩු මිලට ඉන්ධන බෙදා හැරීමටද ඉඩ සැලසෙනු ඇත.

සමුද්‍ර ඉන්ධන අවශ්‍ය අයට තරඟකාරී මිල ගණන් ලබාදිය හැකි බැවින් කොළඹ වරායට ද එය වාසිදායක වනු ඇත. 2021 වසර අවසන් වන විට JCT විසින් අතිරේක මෙට්‍රික් ටොන් 3200 ක ධාරිතාවයකින් යුත් ටැංකියක් ඉදිකරන ලද අතර එය 2022 දී විවෘත කෙරිණි.

ඉදිරියේදී තවත් ටැංකි ස්ථාපනය කිරීමට සැලසුම් කර ඇති අතර ආරක්ෂිත පියවරක් ලෙස නවතම ගිනි ආරක්ෂණ පද්ධතියක් හඳුන්වාදීමද සිදු කරන ලදී.

JCT මේ වන විට කලාපයේ වෙළෙඳපොළ පිළිබඳව පුළුල් අධ්‍යනයක් සිදු කරමින් අනාගතයේ දී තමන්ගේ සේවාවන් වැඩිදියුණු කළ හැකි ආකාරය පිළිබඳ විමර්ශනය කරමින් සිටින බවත් පවසයි.

ගෝලීය වශයෙන්, දියර පෙට්‍රෝලියම් වායුවේ සිට දියර ස්වභාවික වායුව දක්වා සංක්‍රමණයක් සිදුවෙමින් පවතින බව නිරීක්ෂණය වී ඇති අතර, ඉදිරියේදී කොළඹ වරායේදී එවැනි ක්‍රියාවලියක් සිදු කිරීමට අවශ්‍ය ශක්‍යතාවය තක්සේරු කිරීම සඳහා අධ්‍යයනයන් සිදු කෙරෙමින් පවතී. මෙම සංවර්ධනයන් තුලින් ඉහළ පරිමාවන්ගෙන් යුත් සමුද්‍ර ඉන්ධන ගබඩා කිරීමට සහ බෙදාහැරීමට හැකියාව ලැබෙනු ඇත.

Visits: 161