ක්‍රිප්ටෝ මුදල් යෝජනා ක්‍රමවලට හසු නොවන ලෙස මහ බැංකුව ජනතාවට දැනුම් දෙයි

විවිධ පුද්ගලයන් විසින් ප්‍රවර්ධනය කරනු ලබන ක්‍රිප්ටෝ මුදල් (Cryptocurrency) යෝජනා ක්‍රමවල තම මුදල් ආයෝජනය කිරීමෙන් වළකින ලෙන ශ්‍රී ලංකා මහ බැංකුව ජනතාව වෙත දැනුම් දෙයි. ඒ අනුව එවැනි ක්‍රමවල මුදල් ආයෝජනය නොකරන සිය මහන්සියෙන් උපයාගත් ධනය ආරක්ෂා කරගන්නා ලෙසද මහ බැංකුව ජනතාවගෙන් ඉල්ලා සිටියි.

මෙම ක්‍රිප්ටෝ මුදල් සම්බන්ධයෙන් වූ මෑත කාලීන මහජන විමසීම් සහ නිරීක්ෂණය වූ වර්ධනයන් සැලකිල්ලට ගනිමින් මහ බැංකුව ඒ පිළිබඳ පවතින අවදානම පිළිබඳව මහජනයා දැනුවත් කරමින් මෙම කරුණු සඳහන් කර සිටියි.

විශේෂයෙන්ම ක්‍රිප්ටෝ මුදල් යනු රටක පිළිගත් මූල්‍ය අධිකාරියක මැදිහත්විමකින් තොරව පුද්ගලික වශයෙන් ජනනය කරනු ලබන අතථ්‍ය මුදල් වර්ගයකි.

මෙම ක්‍රිප්ටෝ මුදල් ලාභදායී ආයෝජන ක්‍රමයක් ලෙස විවිධ පුද්ගලයන් සහ ව්‍යාපාර විින් පුළුල් ලෙස ප්‍රවර්ධනය කරමින් සිටින බව මහ බැංකුව පවසයි.

එහෙත් තමන් වෙත මෑතකාලීනව ලැබුණු පැමිණිලි අනුව, එවැනි ආයෝජනවලින් ජනතාවට අධික ලෙස මූල්‍ය පාඩු සිදුව ඇති බවත්, මෙවැනි ක්‍රිප්ටෝ යෝජනා ක්‍රම ලෙස ක්‍රියාත්මක වූ මූල්‍ය වංචාවන්වලට හසු වී ඇති බවත් නිරීක්ෂණය වී ඇතැයිද මහ බැංකුව සඳහන් කරයි.

මෙහිදී විශේෂයෙන්ම ක්‍රිප්ටෝ මුදල් ශ්‍රී ලංකාව තුළ පිළිගත් වත්කම් ප්‍රභේදයක් නොවන බවත්, එය නියාමනය නොවන ආයෝජන උපකරණයක් බවට මහ බැංකුව විසින් මහජනතාවට යළි යළිත් අවධාරණය කර සිටියි.

එසේම මෙම ක්‍රිප්ටෝ මුදල් ශ්‍රී ලංකාව තුළ වලංගු මුදල් ලෙස නොසලකන අතර, ඒවායේ භාවිතය සම්බන්ධයෙන් ආරක්ෂණයක් නොමැති බවත් මහ බැංකුව පවසයි.

“මෙලෙස ක්‍රිප්ටෝ මුදල් සම්බන්ධ යෝජනා ක්‍රම ක්‍රියාත්මක කිරීම සඳහා කිසිදු පුද්ගලයෙකුට හෝ ආයතනයකට හෝ කිසිදු බලපත්‍රයක් හෝ අවසරයක් ලබා දී නොමැත. එසේම ක්‍රිප්ටෝ මුදල් සම්බන්ධ මූලික කාසි නිකුතුවකට (Initial Coin Offering) හෝ එහි කිසිදු ප්‍රභේදයකට, ක්‍රිප්ටෝ මුදල් ජනනය කිරීමේ කාර්යයකට (Cryptocurrency Mining Operations), ක්‍රිප්ටෝ මුදල් හුවමාරුවකට (Cryptocurrency Exchange) මෙන්ම ක්‍රිප්ටෝ මුදල් සම්බන්ධ තැන්පතු භාරගැනීම හෝ භාරකාර සේවා සැපයීමට හෝ ක්‍රිප්ටෝ මුදල් ආයෝජන උපදේශන සේවාවන් සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව විසින් කිසිදු අනුමැතියක් ලබාදී නොමැත.“ යනුවෙන් මහ බැංකුව සඳහන් කරයි.

Visits: 160