චීනයේ සිනෝපෙක් සමාගම මෙරට තුළ මෙහෙයුම් ඇරඹීමට සූදානමින්

ශ්‍රී ලංකාවේ අවශ්‍යතාවය වෙනුවෙන් ඉන්ධන ආනයනය, ගබඩා කිරීම, බෙදාහැරීම සහ අලෙවිය සඳහා ආයෝජනය කිරීමට තම ආයතනය සූදානම් බව චීනයේ සිනෝපෙක් සමූහය ජනපතිවරයා වෙත පවසා තිබේ.

එම සමූහයේ නියෝජිතයන් පිරිසක් අද පෙරවරුවේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවූ අවස්ථාවේදී මේ බව ප්‍රකාශ කර තිබෙන බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වා ඇති සිනොපෙක් සමූහයේ නියෝජිතයන්, ඒ වෙනුවෙන් පවතින ක්‍රමවේදයට අනුගතව තම ආයතනයද අයදුම් කර ඇති බව සදහන් කර ඇත.

එසේම රජය විසින් හඳුනාගෙන ඇති හම්බන්තොට මූලික බලශක්ති කේන්ද්‍රස්ථානයක් පිරිපහදු අංගනයක් ද සහිතව ඉදිකිරීමට අවශ්‍ය සම්පූර්ණ ආයෝජනය සිදු කිරීමට තම ආයතනය සූදානම් බවටද එම නියෝජිතයන් මෙහිදී ජනාධිපතිවරයා දැනුවත් කර තිබේ.

ඒ අනුව ඉදිරියේ දී ශ්‍රී ලංකාවේ අභිලාෂ මත සිදු වන අදාළ කැඳවීම් සඳහා තම සමාගම ඉදිරිපත්වීමට සූදානමින් සිටින බව ද එම නියෝජිත පිරිස වැඩිදුරටත් ප්‍රකාශ කර තිබේ.

එසේම ඛනිජතෙල් නිෂ්පාදන ආනයනය, ගබඩා කිරීම සහ බෙදා හැරීම සම්බන්ධයෙන් වන යෝජනාවලියද එම නියෝජිතයන් විසින් ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කර තිබේ.

විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර, ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක, ජනාධිපති ලේකම් සමන් ඒකනායක, මහා භාණ්ඩාගාර ලේකම් මහින්ද සිරිවර්ධන, විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ ලේකම් මාපා පතිරණ යන මහත්වරු ඇතුළු රාජ්‍ය නිලධාරීහු සහ සිනොපෙක් සමූහයේ නියෝජිතයෝ මෙම සාකච්ඡාවට එක්ව සිට ඇත.

Visits: 153