ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් වෙතින් කොටසකට රුපියල් 2.95 බැගින් ලාභාංශ ගෙවීමක්

කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් පීඑල්සී සමාගම සිය කොටස් හිමිකරුවන් සඳහා ලාභාංශ ගෙවීමට තීරණය කර ඇතැයි පවසයි.

ඒ අනුව සමාගම මගින් නිකුත් කර ඇති සෑම ඡන්ද හිමි කොටසක් සඳහාම රුපියල් 2.95ක් බැගින් මෙම ලාභාංශ ගෙවන බව සමාගම සඳහන් කරයි.

මෙය 2022/23 මූල්‍ය වර්ෂය සඳහා ලබා දෙන පළමු අතරමැදි ලාභාංශ ගෙවීම ලෙස සඳහන්ව තිබේ.

මෙහිදී ලාභාංශ ගෙවන දිනය ලෙස අප්‍රේල් 11 වැනිදා ප්‍රකාශ කෙරී ඇති අතර, ලාභාංශ රහිත දිනය (XD Date) ලෙස මාර්තු 20 වැනිදා නම් කෙරී තිබේ.

මෙම ලාභාංශ ගෙවීම සම්බන්ධයෙන් සිය කොටස් හිමිකරුවන්ගේ අනුමැතියක් අවශ්‍ය නොමැති බවත් සමාගම වැඩිදුරටත් පවසයි.

මේ අතර ඊයේ දිනයේදී කොළඹ කොටස් හුවමාරුවෙහි ගනුදෙනු අවසානයේදී ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් පීඑල්සී කොටසක වටිනාකම රුපියල් 142.50ක් ලෙස සටහන්ව තිබුණි. මෙය පෙර දිනයේ කොටසක වටිනාකම වූ රුපියල් 140.25ට සාපේක්ෂව රුපියල් 2.25ක් එනම් 1.60%ක ඉහළ යාමකි.

Visits: 183