අරුණි ගුණතිලක සොෆ්ට්ලොජික් ෆිනෑන්ස් අධ්‍යක්ෂ මණ්ඩලයෙන් ඉවත් වෙයි

සොෆ්ට්ලොජික් සමූහයට අයත් මහ බැංකුවෙහි ලියාපදිංචි බැංකු නොවන මූල්‍ය සමාගමක් වන සොෆ්ට්ලොජික් ෆිනෑන්ස් පීඑල්සී (CRL.N0000) සමාගමෙහි අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකාවක ලෙස කටයුතු කළ අරුණු ගුණතිලක මහත්මිය එම ධුරයෙන් ඉවත්ව ඇතැයි පවසයි.

ඒ අනුව 2023 මාර්තු 09 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි මෙම ඉවත් වීම සිදු ව තිබේ. ඇය 2020 වසරේ සැප්තැම්බර් මාසයේදී එම සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලයට පත්වූවාය.

ගුණතිලක මහත්මිය සොෆ්ට්ලොජික් ෆිනෑන්ස් පීඑල්සී සමාගමෙහි විධායක නොවන ස්වාධීන අධ්‍යක්ෂවරියක ලෙස කටයුතු කර තිබේ.

ඇගේ මෙම ඉවත්වීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුවෙහි බැංකු නොවන මූල්‍ය ආයතන අධීක්ෂණ දෙපාර්තමේන්තුවේ අනුමැතියද පසුගියදා හිමි වූ බව එම සමාගම සඳහන්කරයි.

එසේම ගුණතිලක මහත්මිය මෙම ධුරයෙන් ඉවත් වන අවස්ථාව වනවිට ඇය සතුව එම සමාගමෙහි කිසිදු කොටස් හිමිකාරීත්වයක් නොමැති බවත් සමාගම වැඩිදුරටත් පවසයි.

වසර 25කට අධික කාලයක් පුරා කලාපීය මූල්‍ය වෙළෙඳ පොළ සම්බන්ධයෙන් අත්දැකීම් සහිත අරුණි ගුණලික මහත්මිය මූල්‍ය සේවාවන් පිළිබඳ විශේෂඥවරියක ලෙස සැලකෙයි.

එසේම ඇය අද වනවිට මෙරට බලපත්‍රලාභී වාණිජ බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුවෙහි සභාපතිනියද වෙයි. 2021 ජුලි මාසයේදී ඇය එම ධුරය සඳහා පත් කෙරිණි. එහිදී ඇය විධායක නොවන, ස්වාධීන නොවන අධ්‍යක්ෂවරියක ලෙස කටයුතු කරයි.

මීට අමතරව ඇය ටී ස්මෝල් හෝල්ඩර්ස් ෆැක්ටරීස් පීඑල්සී සමාගමෙහි සහ සන්ෂන් හෝල්ඩිංග්ස් පීඑල්සී සමාගමෙහිද විධායක නොවන ස්වාධීන අධ්‍යක්ෂවරියක ලෙස කටයුතු කරයි.

Visits: 333