ආයෝජන මණ්ඩලය හා අපනයන සංවර්ධන මණ්ඩලය වෙනුවට ආර්ථික කොමිසමක් පිහිටුවීම කඩිනමින්

දෙස් විදෙස් ආයෝජකයන්ට වැඩි අවස්ථාවක් ලබාදීමේ අරමුණින් ආයෝජන සඳහා කඩිනමින් අනුමැතිය ලබා ගැනීමට හැකි වන ලෙස ආර්ථික කොමිසමක් පත්කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

ලංකාවට ආයෝජකයින් පැමිණි පසු ඔවුන්ගේ ව්‍යාපාර කටයුතු සඳහා අනුමැතිය ලබා ගැනීමට දීර්ඝ කාලයක් ගතවීම ගැටලුවක් බව පෙන්වා දෙන ජනාධිපතිවරයා, එමගින් රටට ලැබීමට තිබෙන විශාල ආදායමක් අහිමිව යන බව ද පෙන්වා දෙයි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේ මහනුවර, හන්තාන ප්‍රදේශයේ ඉදිකළ මෙරට ප්‍රථම සංක්‍රමණික පක්ෂි උද්‍යානය සහ පරිසර සංචාරක කලාපය විවෘත කිරීමේ අවස්ථාවට ඊයේ (20) පෙරවරුවේ එක් වෙමිනි.

ඒ අනුව ආයෝජන මණ්ඩලය හා අපනයන සංවර්ධන මණ්ඩලය වෙනුවට ආර්ථික කොමිසමක් පත් කර එක් ආයතනයක් මගින් ආයෝජන සඳහා අනුමැතිය ලබා දීමේ සැලසුම් මේ වන විට සකස් කරමින් පවතින බවත් ඉදිරි සති දෙක තුනක කාලය තුළ එහි වාර්තාව ලැබීමෙන් පසු ඉදිරි කටයුතු ක්‍රියාවට නැංවීමට අපේක්ෂා කරන බවත් ජනාධිපතිවරයා පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා, “ශ්‍රී ලංකාව නව ආර්ථික ගමනක් සමඟින් ඉදිරියට යාමට නම් ආයෝජන අවස්ථා වැඩි කළ යුතුයි. ලංකාවට ආයෝජකයින් පැමිණි පසු ඔවුන්ගේ ව්‍යාපාර සඳහා අනුමැතිය ලබා ගැනීමට වසර 10ක කාලයක් ගතවෙනවා. මේ තත්ත්වය වෙනස් කළ යුතුයි.

නව ආර්ථික සැලැස්මක් යටතේ නිෂ්පාදනය, අපනයන ආර්ථිකය සහ තාක්ෂණික අංශ දියුණු කළ යුතුයි. ඒ සඳහා දෙස් විදෙස් ආයෝජනවලට වැඩි අවස්ථාවක් ලබා දිය යුතුයි. ආයෝජකයෙක් ලංකාවට පැමිණ ආයෝජන ආරම්භ කරන්න වසර 10ක කාලයක් ගත වෙනවා නම් එයින් ආර්ථිකයට ඵලදායි වාසියක් ලැබෙන්නේ නැහැ.

ජේ.ආර් ජයවර්ධන ජනාධිපතිතුමා මහ කොළඹ ආර්ථික සැලැස්ම මාස තුනක් වගේ කෙටි කාලෙකින් සම්මත කරලා ආරම්භ කළ නිසා එහි ආර්ථික වාසිය ලංකාවට ලැබුණා. ප්‍රේමදාස ජනාධිපතිවරයාගේ ඇඟලුම් කර්මාන්ත 200 වැඩසටහනට සති තුනෙන් අනුමැතිය ලැබුණා.

ඒ ආකාරයට ආයෝජන අවස්ථා වැඩි කළේ නැතිනම් ශ්‍රී ලංකාවේ ආර්ථිකය ශක්තිමත් කිරීමට හැකියාවක් නැහැ. ආයෝජන මණ්ඩලය හා අපනයන මණ්ඩලය වෙනුවට ආර්ථික කොමිසමක් පත් කරලා එක් ආයතනයක් මගින් ආයෝජන සඳහා අනුමැතිය ලබා දීමේ වැඩ පිළිවෙළකට යොමු විය යුතුයි.

ඒ සඳහා අවශ්‍ය කටයුතු සිදු කිරීමට දිලුම් අමුණුගම ඇමතිවරයාට පවරා තිබෙනවා. ඉදිරි සති දෙක තුනක කාලය ඇතුළත එහි වාර්තාව ලැබීමට නියමිතයි. ඒ අනුව එය ඉදිරියේ ක්‍රියාත්මක කිරීමට අපි බලාපොරොත්තු වෙනවා.” යනුවෙන් පැවසීය.

Visits: 57