EDEX EXPO 2023 පෙබරවාරි 24 සිට 26 දක්වා SLECC හිදී

EDEX Expo 2023 මෙවරත් පෙබරවාරි මාස 24 සිට 26 දක්වා කොළඹ ශ්‍රී ලංකා ප්‍රදර්ශන හා සම්මේලන මධ්‍යස්ථානයේ (SLECC) දී පැවැත්වීමට නියමිතව තිබේ. එසේම ලබන මාර්තු මාස 4 සහ 5යන දිනවල මහනුවර, කැන්ඩි සිටි සෙන්ටර් (KCC) හිදීත් එය පැවැත්වෙන බව සංවිධායකයෝ පවසති.

EDEX, ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම හා විශාලතම අධ්‍යාපනික හා රැකියා ප්‍රදර්ශනය වන අතර ශ්‍රී ලංකාවේ සහ විදේශයන්හි ප්‍රමුඛ පෙළේ උසස් අධ්‍යාපන ආයතන සහ විශ්වවිද්‍යාල සමඟින් එක්ව අතිවිශිෂ්ට තෝරාගැනීමේ අවස්ථා (ගුණාත්මක හා ප්‍රමාණාත්මක යන දෙඅංශන්ම) සැපයීමපිළිබඳව ඉමහත් කීර්තියක් උසුලයි.

EDEX දශක දෙකකට ආසන්න කාලයක් පුරා “ශ්‍රී ලාංකේය තාරුණ්‍ය ජාත්‍යන්තර වශයෙන්තරඟකාරී මට්ටමකට පත්කිරීමේ” පොරොන්දුව ඉටු කරමින් 2023 දී සිය 19 වන සංවත්සරය සමරයි.

“Covid වසංගතය සහ ඉන්ධන අර්බුදය දැවෙන ප්‍රශ්නයක්ව පැවති කාල වකවානුවක් වූ 2022 මාර්තු මාසයේදී, EDEX විසින් දේශීය තරුණ තරුණියන්ට ඩිජිටල් අත්දැකීමක් සහිත නවීන තාක්‍ෂණයෙන් බලගැන්වූ Hybrid Expo ඔන්ලයින් අධ්‍යාපනික ප්‍රදර්ශනය හඳුන්වාදෙමින් සිය සමාරම්භය සනිටුහන් කළා. EDEX සැම විටම සිය දැක්ම වෙනුවෙන් කැපවී සිටින අතර, අධ්‍යාපනික ප්‍රදර්ශන ක්ෂේත්‍රය ඉහළ තලයකට ගෙන යාම සඳහා සිය කාලය, මුදල් හා ශ්‍රමය අඛණ්ඩව ආයෝජනය කරමින් සිටිනවා,” EDEX හි සභාපති මහින්ද ගලගෙදර මහතා ප්‍රකාශ කළේය.

මෙම වසරේ ශ්‍රී ලංකා ප්‍රදර්ශන හා සම්මේලන මධ්‍යස්ථානයේදී (SLECC) පවත්වනු ලබන EDEX Expo ප්‍රදර්ශනය සඳහා ඔස්ට්‍රේලියාව, ජපානය, ප්‍රංශය, ඩුබායි, පාකිස්ථානය සහ ඉන්දියාව නියෝජනය කරමින් දේශීය හා ජාත්‍යන්තර උසස් අධ්‍යාපන ආයතන රැසක් සහභාගී වීමට නියමිත අතර EDEX Expo 2023 ප්‍රදර්ශනය සඳහා සහභාගී වීමට අපේක්ෂා කරන අයදුම්කරුවන් වෙනුවෙන් 1,000කට අධික ශිෂ්‍යත්ව අවස්ථා සහ අනෙකුත් ප්‍රතිලාභ පිරිනැමෙනු ඇත.

EDEX Expo 2023 රැකියා ප්‍රදර්ශනය සඳහා ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ආයතන රැසක නියෝජිතයින් සම්බන්ධ වන අතර, ඔවුන් විසින් එම ස්ථානයේදීම පැවැත්වීමට නියමිත සම්මුඛ පරීක්ෂණ මඟින් ක්ෂණික බඳවා ගැනීමේ අවස්ථා පිරිනමනු ලබයි.EDEX Careers, ප්‍රමුඛ පෙලේ වෘත්තිකයන් සමඟින් එක්ව සිසුන් සහ රැකියා අපේක්ෂකයින් යන දෙපාර්ශවයම සඳහා අවශ්‍ය වෘත්තීය මාර්ගෝපදේශන, සම්මන්ත්‍රණ, රැකියා ප්‍රවණතා පිලිබඳ තොරතුරුසහ අභියෝගයන්ට සාර්ථකව මුහුණ දීමට අවශ්‍ය දැනුම ප්‍රදර්ශනය පුරාවට ලබාදෙනු ඇත.

Visits: 47