හෙට (03දා) CSE හි ගනුදෙනු දහවල් 12.00 වන තුරු පමණයි

2023 පෙබරවාරි 03 වැනිදා එනම් හෙට දිනයේදී කොළඹ කොටස් හුවමාරුව ගනුදෙනු සඳහා විවෘතව තැබෙන්නේ මධ්‍යහ්න 12.00 දක්වා පමණක් බව එහි බලධාරීන් පවසයි.

පසුගිය ජනවාරි මාසයේදී කොළඹ කොටස් හුවමාරුවෙහි ප්‍රධාන විධායක නිලධාරී රේනුක විජයවර්ධන මහතා විසින් මෙම කරුණු අනාවරණය කළේය.

මේ වසරේ නිදහස් දිනය සෙනසුරාදා (04දා) යෙදී තිබීම නිමිත්තෙන් කොළඹ කොටස් හුවමාරුව වෙත හිමිවන අමතර දින භාගයක නිවාඩුව හෙට දිනයේදී ලබා ගැනීම ඊට හේතුව වී තිබේ.

සුපුරුදු පරිදි ලබන සඳුදා (06දා) කොළඹ කොටස් හුවමාරුවෙහි ගනුදෙනු නියමිත කාලය පුරා ක්‍රියාත්මක කෙරෙන බවත් සඳහන් වෙයි.

මේ අතර අද (02දා) දිනය සඳහා කොළඹ කොටස් හුවමාරුවෙහි ගනුදෙනු ආරම්භ වී පළමු පැය දෙක ඇතුළතදී සියලු කොටස් මිල දර්ශකය ඒකක 9,072.18ක් දක්වා ඉහළ නැග තිබුණි. එය පෙර දිනයට සාපේක්ෂව ඒකක 122.17ක එනම් 1.37%ක ඉහළ යාමකි.

එසේම ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුවර්ස් ශ්‍රීලංකා 20 දර්ශකයත් ඒකක 2,835.81ක් ලෙස සටහන්ව තිබූ අතර, එය පෙර දිනයට සාපේක්ෂව ඒකක 36.28ක එනම් 1.30% ක ඉහළ යාමකි.

Visits: 69