ගෞතම් අදානි සතියක් තුළ Forbes ධනපතියන්ගේ ලැයිස්තුවේ 16 වැනි තැනට ඇද වැටෙයි

ඉන්දියාවේ අදානි සමූහයේ සභාපතිවරයා වන සුප්‍රසිද්ධ ගෞතම් ෆෝර්බ්ස් සඟරාව මගින් ඉදිරිපත් කරන ලොව බිලියනපතියන්ගේ ලැයිස්තුවෙහි 16 වැනි ස්ථානයට පත්ව ඇතැයි වාර්තා වෙයි. පසුගිය සතියේදී ඔහු එම ලැයිස්තුවෙහි තෙවැනි ස්ථානයේ පසුවිය.

කෙසේ වෙතත් පසුගිය ජනවාරි 25 වැනිදා ඇමෙරිකාවේ Hindenburg ආයතනය සිදු කළ අදානි සමූහයේ බදු වංචා සහ ණයබරතාව පිළිබඳ අනාවරණයත් සමගින්ම ඔහුගේ මෙම වත්කම් දරුණු ලෙස කඩා වැටීමට ලක් විය.

ඒ අනුව අද වනවිට ගෞතම් අදානි ඩොලර් බිලියන 68.9ක වත්කමක් සමගින් මෙම ‍Forbes බිලියනපතියන්ගේ ලැයිස්තුවේ 16 වැනි ස්ථානයේ පසුවෙයි. 60 හැවිරිදි අදානි වෙත පසුගිය සතියේදී පමණක් වත්කමින් ඩොලර් බිලියන 19.8ක් අහිමි වී තිබේ. මෙම අනාවරණය සිදු කරන අවස්ථාව වනවිට ඔහුගේ වත්කම ඩොලර් බිලියන 118ක් ලෙස සටහන්ව තිබුණි.

මේ තත්ත්වයත් සමගින්ම අදානි හට ආසියාවේ ධනවත්ම පුද්ගලයා ලෙස හිමිව තිබූ ස්ථානයද අහිමිවී ගොස් තිබේ. මෙම ස්ථානය සඳහා ඔහුත් සමගින් තරගවැදුණු ඉන්දියාවේම මුකේෂ් අම්බානි මේවනවිට Forbes බිලියනපතියන්ගේ ලැයිස්තුවේ 10 වැනි ස්ථානයට පත්ව තිබේ. ඔහු සතු වත්කම ඩොලර් බිලියන 82.8කි.

මේ අතර ගතවුණු සතියක කාලය තුළදී අදානි එන්ටර්ප්‍රයිසස් සමූහයට අයත් ලැයිස්තුගත සමාගම් හත වෙත ඩොලර් බිලියන 100ක් අහිමිවි ගොස් ඇතැයිද ඉන්දියානු කොටස් වෙළෙඳ පොළ ආරංචි මාර්ග පවසයි. මේ අතරින් අදානි එන්ටර්ප්‍රයිසස් සමාගම අද පෙරවරුවේදී පමණක් 10෴කින් පහළ බැස තිබේ.

අදානි පෝර්ට්ස් ඇන්ඩ් ස්පෙෂල් එකොනොමික් සෝන්, අදානි ටෝටල් ගෑස්, අදානි ග්‍රීන් එනර්ජි සහ අදානි ට්‍රාන්ස්මිෂන් යන සමාගම්ද 10෴කින් පසු බැස තිබේ. මීට අමතරව අදානි පවර් සහ අදානි විල්මාර් යන සමාගම් 5%ක් බැගින් පසු බැස ඇත.

මේ අතර අදානිගේ සිදුවීමත් සමගින්ම ඉන්දියානු දේශීය බැංකු වෙත එල්ල වී ඇති බලපෑම කුමක්ද යන්න විස්තර කරන ලෙස ඉන්දියානු මහ බැංකුව හෙවත් ඉන්දියානු සංචිත බැංකුව ඊයේ සියලුම බැංකු වෙත දැනුම් දී තිබේ. වාර්තා සඳහන් කරන ආකාරයට 2022 මාර්තු මාසයෙන් අවසන් වූ මූල්‍ය වර්ෂය වනවිට අදානි සමූහය සතු සමස්ත ණයබරතාව ඩොලර් බිලියන 24.53ක් වන අතර, ඒ අතරින් 40%ක ප්‍රතිශතයක්ම මෙම ඉන්දියානු දේශීය බැංකු මගින් ලබා දුන් ණය බව පැවසෙයි.

කෙසේ වෙතත් Hindenburg සිදුකළ මෙම අනාවරණය ප්‍රතික්ෂේප කරන බව අදානි සමූහය සඳහන් කර සිටියි.

Views: 236