LOLC හෝල්ඩිංග්ස් සමාගම Agstar PLC හි තමන් සතු වූ කොටස් සියල්ල අලෙවි කරයි

කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත LOLC හෝල්ඩිංග්ස් පීඑල්සී සමාගම තවත් ලැයිස්තුගත සමාගමක් වන Agstar PLC සමාගම (AGST.N0000) තුළ තිබූ සිය සමස්ත කොටස් හිමිකාරීත්වය අලෙවි කිරීමට පියවර ගත් බව පවසයි.

අද දිනයේදී කොළඹ කොටස් හුවමාරුව වෙත ලිපියක් මගින් දැනුම් දෙමින් එම සමාගම මේ බව සඳහන් කර සිටියි. Agstar PLC සමාගමෙහි දෙවැනි විශාලතම කොටස් හිමිකරුවා ලෙස පැවතියේද LOLC හෝල්ඩිංග්ස් පීඑල්සී සමාගමයි.

සමාගම සඳහන් කරන ආකාරයට මෙහිදී එම සමාගම මගින් අලෙවි කර ඇති සමස්ත කොටස් ප්‍රමාණය 90,256,750කි. එය සමාගම මගින් නිකුත් කර ඇති සමස්ත ඡන්ද හිමි කොටස් අතරින් 19.56%ක ප්‍රතිශතයකි.

මෙහිදී පසුගිය වසරේ දෙසැම්බර් 16 වැනිදා සිට මේ වසරේ ජනවාරි 25 වැනිදා දක්වා කාලසීමාව තුළදී මෙම කොටස් අලෙවි කිරිම සිදු කර තිබේ.

එහිදී Agstar PLC කොටසක් රුපියල් 15.00ත් 17.50ත් අතර මුදලකට අලෙවි කෙරී තිබේ.

කෙසේ වෙතත් Agstar PLC සමාගම තුළ ඇති LOLC සමූහයට අයත් ඡන්ද හිමි කොටස් ප්‍රමාණය 269,431,961ක් වන බවත්, එය සමස්ත කොටස් හිමිකමින් 58.41%ක් ලෙස සටහන්ව තිබේ. එසේම සමාගම සතුව ඇති නිෂ්ඡන්ද කොටස් ප්‍රමාණය 17,471,014ක් වන අතර, එය සමස්ත නිෂ්ඡන්ද කොටස් අතරින් 66.66%ක නියෝජනයකි.

Agstar PLC සමාගම මෙරට වෙත පොහොර, කෘෂි රසායනික ආනයනය සහ අලෙවියේ නිරත සමාගමකි.

2022 මාර්තු 31 වැනිදා වනවිට Agstar PLC සමාගමෙහි ප්‍රධාන කොටස් හිමිකාරීත්වය පැවතියේ LOLC සමූහයට අයත් Iconic Trust (Private) Limited සමාගම වෙතයි. එය කොටස් 201,488,404කි. එය ප්‍රතිශතයක් ලෙස 43.68%කි. එසේම අමානා බැංකුව සහ බ්‍රවුන්ස් ඉන්වෙස්ට්ම්න්ට්ස් හවුල් ගිණුමක් තුළත් තවත් කොටස් 60,450,000ක් පවතින අතර එය 13.10%ක ප්‍රතිශතයකි. මීට අමතරව බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට්ස් පීඑල්සී සමාගම සතුව කොටස් 7,370,057ක් ඇති අතර, එය 1.60%ක ප්‍රතිශතයකි.

Visits: 497