IMF කලාපීය විධායක අධ්‍යක්ෂ ක්‍රිෂ්ණමූර්ති සුබ්‍රමනියම් මුදල් රාජ්‍ය ඇමැති රංජිත් සියඹලාපිටිය හමුවෙයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් සහ මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා අතර විශේෂ සාකච්ඡාවක් අද (26) මුදල් අමාත්‍යාංශයේ දී පැවැත්වුණු බව එම රාජ්‍ය අමාත්‍යාංශය පවසයි.

මෙහිදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඉන්දියාව, ශ්‍රී ලංකාව, බංග්ලාදේශය සහ භූතානය භාර විධායක අධ්‍යක්ෂ ආචාර්ය ක්‍රිෂ්ණමූර්ති සුබ්‍රමනියම් මහතා ඇතුළු නියෝජිතයන්ගේ සහභාගීත්වයෙන් මෙම සාකච්ඡාව පැවැත්වී තිබේ.

මෙම සාකච්ඡා සාර්ථක බව අමාත්‍ය සියඹලාපිටිය මහතා සඳහන් කරන බව එම අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව ශ්‍රී ලංකාවට සහය පළ කරමින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීරණ මූල්‍ය පහසුකමේ මුල් වාරිකය නුදුරේ දී ම ශ්‍රී ලංකාවට ලැබෙනු ඇතැයි අමාත්‍යවරයා විශ්වාසය පළ කරන බවද සඳහන් වෙයි.

මේ අතර, රාජ්‍ය ආදායම සහ ජනතාව මුහුණ දී සිටින අසීරුතා සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන්ද මෙම සාකච්ඡාවේ දී කරුණු සාකච්ඡා කෙරී තිබේ.

එමෙන් ම ණය වාරික ලබා ගැනීම සම්බන්ධයෙන් තාක්ෂණික කාරණා පිළිබඳ සාර්ථක සාකච්ඡාවක් ද මෙහි දී සිදු විය. එහි ප්‍රතිඵල මත ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මූල්‍ය පහසුකම් ශ්‍රී ලංකාවට හිමි වනු ඇති බව අමාත්‍යවරයා කියා සිටියි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විකල්ප විධායක අධ්‍යක්ෂ ආචාර්ය චන්ද්‍රනාත් අමරසේකර සහ මහබැංකුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ආචාර්ය විපුල වික්‍රමආරච්චි  යන මහත්වරු ද මෙම සාකච්ඡාව සඳහා එක්ව සිට ඇත.

Visits: 51