එක්සත් අරාබි එමීරයේ විදෙස් රැකියා සඳහා යන ශ්‍රී ලාංකිකයන් 27% කින් ඉහළට

මේ වන විට එක්සත් අරාබි එමීර් රාජ්‍ය තුළ ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ගේ වර්ධනයක් ඇතිවී තිබෙන බවත්, 2021 වසරට සාපේක්ෂව 2022 වසරේදී ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ගේ පැමිණිම 27% කින් ඉහළ ගොස් තිබෙන බව එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ මානව සම්පත් අමාත්‍ය, ආචාර්ය Abdulrahman Abdulmannan Al Awar මහතා පවසයි.

පසුගියදා එරට සංචාරයක නිරත වූ ශ්‍රී ලංකාවේ විදේශ රැකියා පිළිබඳ අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා හමුවූ අවස්ථාවේදී අමාත්‍යවරයා මේ බව සඳහන් කර තිබේ.

මෙම සාකච්ඡාවේදී දෙරටේ නියෝජිතයෝ මෙම රැකියා අවස්ථා සහ ඒ සඳහා වන පුහුණු ශ්‍රමිකයන් යොමු කිරීමේ අවස්ථාවන් පිළිබඳව අදහස් හුවමාරු කරගෙන තිබේ.

එහිදී විශේෂයෙන්ම එක්සත් අරාබි එමීර් රාජ්‍ය තුළ වර්ධනය වන රැකියා වෙළඳපොළ තුළ ශ්‍රී ලාංකිකයන්ට වැඩි රැකියා අවස්ථා ප්‍රමාණයක් දෙන ලෙසටත්, පුහුණු සහ වෘත්තීය ශ්‍රමිකයන්ට වැඩි අවස්ථා ලබාදීම සඳහා ලංකාවේ පුහුණු සුදුසුකම්වලට පිළිගැනීමක් ලබාදෙන ලෙසටත් අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා කළ ඉල්ලීමට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ මානව සම්පත් අමාත්‍ය ආචාර්ය Abdulrahman Abdulmannan Al Awar මහතාගෙන් යහපත් ප්‍රතිචාරයක් හිමි වූ බවත් සඳහන් වෙයි.

පුහුණු හා වෘත්තීමය සුදුසුකම් ඇති ශ්‍රමිකයන්ට රැකියා  අවස්ථා වැඩි වශයෙන් ලබාගැනීමට ලංකාවේ පුහුණු සුදුසුකම්වලට අවශ්‍ය පිළිගැනීමක් සුදුසුකම් සමාන කිරීමේ වැඩපිළිවෙලක් (Qualification Equalization) හරහා  ලබාදීමට අවශ්‍ය ඉදිරි පියවර ගැනීමට තාක්ෂණික කමිටු මට්ටමින් සාකච්ඡා පවත්වා, අවශ්‍ය ඉදිරි පියවර ගැනීමට දෙපාර්ශවයේ එකගතාවය හිමිව තිබේ.

මේ අතර නීති විරෝධී ක්‍රම ඔස්සේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයට පුද්ගලයන් ගෙන්වන අයට එරෙහිව නීතිය තදින් ක්‍රියාත්මක කරන බවටද Abdulrahman Abdulmannan Al Awar මහතා කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතාට සහතික වී තිබේ.

රැකියා සඳහා සංචාරක වීසා මගින් එක්සත් අරාබි එමීර් රාජ්‍යයට පැමිණෙන ශ්‍රී ලංකික ශ්‍රමිකයන් මුහුණදෙන ගැටලු සම්බන්ධයෙන් කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා කරුණු පැහැදිළි කර ඇත.

සංචාරක වීසා හරහා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ රැකියා සඳහා පැමිණෙන ශ්‍රී ලාංකිකයන්ට නොයෙක් දුෂ්කරතාවයන්ට මුහුණදීමට සිදුව ඇති බවත්, සංචාරක වීසා මගින් එලෙස රැකියා සඳහා පැමිණීම වැළැක්වීමට ජනතාව දැනුවත් කිරීම පිණිස ක්‍රියාත්මක කරන වැඩපිළිවෙල පිළිබඳවත්  මනුෂ නානායක්කාර අමාත්‍යවරයා එහි දී කරුණු ඉදිරිපත් කර තිබේ.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සේවය කරන ශ්‍රමිකයන්ගේ රැකියාවක් අහිමි වුවහොත් ඔවුන්ගේ වැටුපෙන් 60% මුදලක් මාස තුනක කාලයකට ලබාදීම පිණිස හදුන්වාදී ඇති රක්ෂණය සම්බන්ධයෙන් අමාත්‍ය ආචාර්ය Abdulrahman Abdulmannan Al Awar මහතා එහි දී පැහැදිළි කර ඇත.  

ඒ අනුව ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ගේ රැකියාවක් අහිමි වුවහොත් ඔවුන්ට එයින්  ප්‍රතිලාභ ලබාගැනීමට අවස්ථාව හිමි වන බව ද සඳහන් කළේය. එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ රැකියාවල නිරත ශ්‍රමිකයන්ට ඇතිවන ගැටලු ඉදිරිපත් කිරීමට භාෂා විස්සකින් ක්‍රියාත්මක ඇමතුම් මධ්‍යස්ථානයක් ක්‍රියාත්මක බව ද අමාත්‍යවරයා සඳහන් කර තිබේ.

මෙම ද්වීපාර්ශ්වීය සාකච්ඡාව සඳහා එක්සත් අරාබී එමීර් රාජ්‍යයේ මානව සම්පත් අමාත්‍ය ආචාර්ය Abdulrahman Abdulmannan Al Awar, කම්කරු සබඳතා පිළිබඳ සහකාර ලේකම්, Ayesha Belharfia, සහකාර ලේකම්වරුන් වන Abdulla Alnuaimi, Mohsin Muhsih, ජාත්‍යන්තර ද්වීපාර්ශ්වීය සබඳතා පිළිබඳ සහකාර අධ්‍යක්ෂ Noora Alsuwaidi, ජාත්‍යන්තර සබඳතා විශේෂඥ Mohamed Alhammadi, විධායක නිලධාරී Moza Alshamsi, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ශ්‍රී ලංකා තානාපති උදය ඉන්ද්‍රරත්න, ඩුබායි හි ශ්‍රී ලංකා කොන්සල් ජෙනරාල් නලින්ද විජේරත්න ප්‍රමුඛ නිලධාරීහු සහභාගී වී තිබේ.

Visits: 65