SG Global Holdings සතු Expo කොටස් හිමිකාරීත්වය 82%ක් ඉක්මවයි

කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත එක්ස්පෝ ලංකා හෝල්ඩිංග්ස් පීඑල්සී (EXPO.N0000) සමාගමෙහි ප්‍රධානතම කොටස් හිමිකරුවා වන S.G. Global (Pte) Holdings Limited සමාගම සතුව ඇති එහි සමස්ත කොටස්හිමිකාරීත්වය 82.43%ක් බවට පත්ව ඇතැයි පවසයි.

එක්ස්පෝ ලංකා සමාගම මගින් ඊයේ (29දා) කොළඹ කොටස් හුවමාරුව වෙත යැවූ ලිපියක් මගින් මේ පිළිබඳව දැනුම් දී තිබේ.

එහි සඳහන් ආකාරයට පසුගිය දෙසැම්බර් 28 වැනිදා වනවිට S.G. Global (Pte) Holdings සමාගම සතුව ඇති එක්ස්පෝ ලංකා හෝල්ඩිංග්ස් කොටස් ප්‍රමාණය ප්‍රකාශිත සමස්ත කොටස් අතරින් කොටස් 1,611‍,532,626කි.

මේ අතර පසුගිය සැප්තැම්බර් 30 වැනිදා වන විට S.G. Global සතුව තිබූ එක්ස්පෝ ලංකා කොටස් හිමිකාරීත්වය කොටස් 1,553‍,592,939කි. එය 79.47%ක ප්‍රතිශතයක් ලෙස සටහන්ව තිබේ.

ඒ අනුව පසුගිය මාස තුනක කාලයේදී S.G. Global සමාගම එක්ස්පෝ ලංකාහි කොටස් හිමිකාරීත්වය 2%කින් ඉහළ නංවා ගැනීමට සමත්ව ඇතැයිද එම සමාගම පවසා සිටියි.

මෙහිදී S.G. Global සමාගමේ මෙන්ම එක්පෝ ලංකා හෝල්ඩිංග්ස් සමාගමේද අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙකු වන Ha Yo මහතා විසින් මෙම මිලදී ගැනීම සිදු කර තිබේ.

Visits: 130