“අදානි සමූහය මූල්‍යමය වශයෙන් ශක්තිමත් සහ සුරක්ෂිතයි” – ගෞතම් අදානි කියයි

අදානි සමූහය වර්තමානයේදී මූල්‍යමය වශයෙන් වඩාත් ශක්තිමත් සහ සුරක්ෂිත සමාගමක් බව එහි සභාපතිවරයා මෙන්ම නිර්මාතෘවරයාද වන ඉන්දියානු බිලියනපති ව්‍යාපාරික ගෞතම් අදානි මහතා පවසයි.

ඉන්දියාවේ India Today පුවත් නාලිකාව ඔස්සේ ඊයේ රාත්‍රියේදී විකාශය වූ සම්මුඛ සාකච්ඡාවක් වෙත අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කර තිබේ. මෙය අදානි සම්බන්ධ වූ පළමු රූපවාහිනි සම්මුඛ සාකච්ඡාවද වෙයි.

India Today සමූහයේ කර්තෘ මණ්ඩල අධ්‍යක්ෂ (ප්‍රකාශන) රාජ් චෙනගප්පා මහතා විසින් මෙම සම්මුඛ සාකච්ඡාව මෙහෙයවා තිබේ. මෙහිදී විශේෂයෙන්ම අදානි සමූහය සතුව ඇති ණය පිළිබඳව සිදුකළ ප්‍රශ්න කිරීමේදී ගෞතම් අදානි මහතා මෙම කරුණු පවසා තිබේ.

මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වා ඇති ඔහු අද වනවිට බොහෝ පිරිසක් අදානි සමූහය සතුව ඇති ණය සම්බන්ධයෙන් මහත් ඉහළින් හඬ නගා කතා කරන බවත්, ඒ කිසිවෙකුවත් එම සමාගම් සමූහය සතුව ඇති මූල්‍යමය තත්ත්වය සම්බන්ධයෙන් ගැඹුරු සොයා බැලීමක් සිදු නොකරන බවත් පවසා තිබේ.

මෙම පිරිසට වුවමනාව වී ඇත්තේ අදානි සමූහය සම්බන්ධයෙන් වන පිළිගැනීම විනාශ කර දැමිමක් පමණක් බවද අදානි මෙහිදී සඳහන් කර තිබේ.

ඔහු සඳහන් කර ඇති ආකාරයට අද වනවිට එම සමූහයේ ලාභය එහි ණයබරතාවයේ අනුපාතය මෙන් දෙගුණයක වේගයකින් වර්ධනය වෙමින් පවතී. එසේම එම සමූහයේ ණයබරතාව සහ EBITDA (පොළී, බදු, ක්ෂයවීම් සහ ක්‍රමක්ෂයට පෙරාතුව ඉපැයීම්) අතර අනුපාතය මේ වනවිට 7.6 සිට 3.2ක් දක්වා පහත වැටී ඇතැයිද ඔහු මෙහිදී පවසා ඇත.

මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වා ඇති ගෞතම් අදානි තමන්ගේ මෙම ව්‍යාපාරික දිවියේ සාර්ථකත්වයට පත්වීම සඳහා එදා සිට මේ දක්වා එරට දේශපාලනයේ නියැලුණු ප්‍රධාන චරිත වන රාජිව් ගාන්ධි, මන්මෝහන් සිං සහ වත්මන් අගමැති නරේන්ද්‍ර මෝදි ඉතාමත් ඉහළ සහයෝගයක් ලබා දුන් බවත් පවසා තිබේ.

මේ අතරින් විශේෂයෙන්ම ඉන්දියාවේ ගුජරාට් ප්‍රාන්තයේ උපත ලැබූවෙකු වන ගෞතම් අදානි වෙත එම ප්‍රාන්තයේම හිටපු ප්‍රධාන අමාත්‍යවරයෙකු වූ වත්මන් අගමැති නරේන්ද්‍ර මෝදිගෙන් එදා සිට අද දක්වාම තමන්ට බොහෝ සහයෝගය හිමි වුණු බවත් අදානි සඳහන් කර ඇත.

මේ අතර අදානි සමූහය විසින් ඉන්දියාවේ ප්‍රමුඛතම රූපවාහිනි නාලිකාවක් වන NDTV අත්පත් කරගැනීම සම්බන්ධයෙන් සිදු කළ විමසීමකට අදහස් දක්වා ඇති අදානි, “NDTV නාලිකාව වඩාත් විශ්වාසනීය, ස්වාධීන ගෝලීය රූපවාහිනි නාලිකා ජාලයක් බවට පත්වේවි.” යනුවෙන් පවසා ඇත.

එහිදී නාලිකාවේ කළමනාකාරීත්වය සහ කර්තෘ මණ්ඩලය අතර පැහැදිලි දුරස්තබවක් පවතිනු ඇතැයිද ගෞතම් අදානි අවධාරණය කර තිබේ.

Visits: 123