හේමාස් හෝල්ඩිංග්ස් සභාපති, CEO අතරට අලුතින් උපසභාපති ධුරයක් හඳුන්වා දෙයි

කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත හේමාස් හෝල්ඩිංග්ස් පීඑල්සී (HHL.N0000) සමාගම සිය අධ්‍යක්ෂ මණ්ඩලය සඳහා නව උප සභාපතිවරයෙකු හඳුන්වාදී ඇතැයි පවසයි.

ඊයේ දිනයේදී කොළඹකොටස් හුවමාරුව වෙත ලිපියක් මගින් දැනුම් දෙමින් එම සමාගම මේ බව සඳහන් කර සිටියි.

පසුගියදා පැවැති එම සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩල හමුවේදී මේ පිළිබඳව අවසන් තීරණයකට පැමිණ තිබේ.

ඒ අනුව සමාගමේ නව උප සභාපතිවරයා ලෙස මෙතෙක් එම සමාගමෙහි ස්වාධීන විධායක නොවන අධ්‍යක්ෂවරයෙකු ලෙස කටයුතු කරන ආචාර්ය සුමිත් අනුර බණ්ඩාර ඒකනායක මහතා නම් කෙරී ඇතැයි එම සමාගම පවසයි.

මෙම නව පත් වීම ලබන 2023 වසරේ ජනවාරි 01 වැනිදා සිට බලාත්මක වන පරිදි සිදු වන බවත් සමාගම වැඩිදුරටත් සඳහන් කරයි.

වැඩි කාලයක් රාජ්‍ය සේවයේ නිරතවී ඇති ආචාර්ය අනුර ඒකනායක මහතා හේමාස් හෝල්ඩිංග්ස් පීඑල්සී අධ්‍යක්ෂ මණ්ඩලය වෙත තේරී පත්ව ඇත්තේ 2013 ඔක්තෝබර් මාසයේදීය.

වර්තමානයේදී ඒ මහතා සමාගමේ මානව සම්පත් සහ බඳවා ගැනීම් කමිටුවේ සභාපතිවරයා ලෙසත්, නාමයෝජනා සහ පාලන කමිටුවේ සභාපතිවරයා ලෙසත් කටයුතු කරයි.

ඒ මහතා ලංකා වාණිජ මණ්ඩලයේ හිටපු සභාපතිවරයෙකුද වෙයි. එසේම ශ්‍රී ලංකා කර්මාන්ත සංගමයේ සහ ජාත්‍යන්තර ස්වාභාවික රබර් කවුන්සිලයේද සභාපතිවරයෙකු ලෙස ඔහු කටයුතු කර තිබේ.

කෘෂිකර්මය පිළිබඳව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පශ්චාත් උපාධියක් හිමි ඒ මහතා, දක්ෂ ආර්ථික විද්‍යාඥයෙකු ලෙසද සැලකෙයි. ඒ මහතා 1979 වසරේදී පිහිටවුණු මහවැලි අධිකාරිය හා සම්බන්ධවී ඇත්තේ ආර්ථිකවිද්‍යාඥයෙකු වශයෙනි.

හේමාස් හෝල්ඩිංග්ස් පීඑල්සීහි අධ්‍යක්ෂ මණ්ඩල ධුරාවලියට අනුව ප්‍රධාන ධුරය ලෙස පැවැතියේ සභාපති ධුරයයි. එය හුසේන් එසුෆලි මහතා විසින් දරන ලදි. එසේම දෙවැනි තැන එහි ප්‍රධාන විධායක නිලධාරී ධුරය වූ අතර, එය කස්තුරි විල්සන් චෙල්ලරාජා මහත්මිය විසින් හෙබවීය.

ඒ අනුව නව උප සභාපති ධුරය මෙම සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරී ධුර අතරට පත් කිරීමක් සිදුව තිබේ.

Visits: 171