යුනිලිවර් ශ්‍රී ලංකා මෙරට වඩාත් කාන්තා-හිතකර ප්‍රතිපත්ති සහිත ආයතනය ලෙස තේරී පත්වෙයි

AICPA, CIMA සහ SATYN සඟරාව විසින් සංවිධානය කළ 2022 කාන්තා හිතකාමී සේවා ස්ථාන සම්මාන උළෙලේදී ශ්‍රී ලාංකේය සේවා ස්ථානයන් අතර ‘කාන්තාවන්ට වඩාත් ගැලපෙන සමාගම් ප්‍රතිපත්ති සහිත ආයතනය’ ලෙස යුනිලිවර් ශ්‍රී ලංකා ආයතනය පසුගියදා සම්මානයට පාත්‍ර වූ බව පවසයි.

එසේම කාන්තාවන්ගේ සහභාගීත්වය, සංවර්ධනය හා නියෝජනය වැඩිදියුණු කිරීම වෙනුවෙන් වන කැපවීම යළි යළිත් සනාථ කරමින් ශ්‍රී ලංකාවේිවඩාත් කැපී පෙනෙන කාන්තා හිතකාමී සේවා ස්ථානයක් ලෙසද යුනිලිවර් සමාගම මෙහිදී පිළිගැනීමට ලක්විය.

කාන්තාවන් සවිබල ගැන්වීමට කටයුතු කරන සමාගම් ඇගයීමට ලක් කරන කාන්තා හිතකාමී සේවා ස්ථාන සම්මාන උළෙල, කාන්තාවන් වෙනුවෙන් වඩාත් ආරක්ෂිත හා ශක්තිමත් සේවා ස්ථානයක් සහතික කිරීම වෙනුවෙන් රට තුළ ස්ත්‍රී පුරුෂ සමානාත්මතාව මෙන්ම එක්සත් ජාතීන්ගේ පස් වැදෑරුම් තිරසර සංවර්ධන ඉලක්කයන් අනුව කටයුතු කිරීමට එම සමාගම් හා ආයතන දිරිගන්වනු ලබයි.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ යුනිලිවර් ශ්‍රී ලංකා සමාගමේ මානව සම්පත් අධ්‍යක්ෂිකා අනන්‍යා සභාර්වල් මහත්මිය මෙසේ සඳහන් කර සිටියාය. “මේ පිළිගැනීම අප වෙත ලබා දීම සම්බන්ධයෙන් අප ඉතාමත් සතුටට පත් වන අතර ඒ පිළිබඳව AICPA, CIMA සහ SATYN යන ආයතනයන් වෙත මගේ හෘදයාංගම ස්තුතිය පුද කිරීමට කැමතියි. කාන්තාවන්ට මෙන්ම විවිධ කණ්ඩායම් වෙත අර්ථවත් ප්‍රතිපත්ති හඳුන්වා දෙමින් දශක ගණනාවක් තිස්සේ සමානාත්මතාවය හා සියලු දෙනාට ගැළපෙන සේවා සංස්කෘතියක් නිර්මාණය කිරීමට අපි කැපවී කටයුතු කරනවා.

අප විසින් දැනටමත් ක්‍රියාත්මක කර තිබෙන හිංසන විරෝධී ප්‍රතිපත්තිය (Anti-harassment Policy)ට අමතරව පසුගිය වසරේ ජාත්‍යන්තර කාන්තා දිනයේදී සාඵල්‍යතා සහාය ප්‍රතිපත්තියක් (Fertility Support Policy) වගේම ගෘහස්ථ ප්‍රචණ්ඩත්වයේදී උපකාර (Domestic Violence Support Policy) කිරීමේ ප්‍රතිපත්තියක් හඳුන්වා දීමට ද කටයුතු කළා.

මේ වසරේ ජාත්‍යන්තර කාන්තා දිනයේදී අපගේ වෛද්‍ය නිවාඩු අතරට ඔසප් නිවාඩුව (Menstrual Leave) ද එක් කරමින් සමාගමේ වියදමෙන් කාර්යාලයේ හා කර්මාන්තශාලාවේ සේවයේ නියුතු කාන්තා සාමාජිකාවන් හට සනීපාරක්ෂක තුවා ඩිස්පෙන්සර (Sanitary Napkin Dispensers) ලබා දීමට කටයුතු කළ අප ඒ තුළින් ඔසප් සෞඛ්‍යය පිළිබඳ ආයතනික සේවකයන් තුළ පැවති දුර්මතයන් ඉවත් කිරීමටත් කටයුතු කළා. එසේම අපගේ සාමාජිකයින් හට ඔවුන්ගේ රැකියා ජීවිතය මෙන්ම පුද්ගලික ජීවිතයද සමබරව පවත්වාගෙන යාමට අවශ්‍ය වෘත්තීය විවේකය (Career Break) වැනි ප්‍රතිපත්තීන් තුළින් කාන්තා සහ පිරිමි දෙපක්ෂයටම ගැළපෙන ආකාරයේ වැඩසටහන් හඳුන්වාදීමටත් අපි කටයුතු කර තිබෙනවා”.

කාන්තාවන්ගේ දියුණුව පිළිබඳව නිරන්තර අවධානය යොමු කරන යුනිලිවර් ශ්‍රී ලංකා සමාගම ඔවුන්ගේ වෘත්තීය ජීවිතය සාර්ථක කර ගැනීමට අවස්ථාව සලසා දී ඇත. යුනිලිවර් සමාගම මනාව සකස් කරන ලද වෘත්තීය සංවර්ධන ක්‍රියාවලියක් හරහා ජ්‍යෙෂ්ඨ නායකත්ව තනතුරු සඳහා කාන්තා සාමාජිකාවන් පෙළ ගැස්වීමට හා දිරිමත් කිරීමට කටයුතු කර ඇති අතර සිය කාන්තා කළමනාකරුවන්ගෙන් 80%ක ප්‍රමාණයක් විදේශයන්හි සංවර්ධන සංචාරයන් වෙතද යොමු කොට ඇත.

මේ සම්බන්ධයෙන් අදහස් පළකල යුනිලිවර් ශ්‍රී ලංකා සමාගමේ සභාපතිනි හා කළමනාකාර අධ්‍යක්ෂිකා හජාර් අලෆිෆි මහත්මිය “සෑම විටම සියලු දෙනාට සමානාත්මතාවයෙන් හා ගෞරවයෙන් සලකන, ඔවුන්නොවුන්ගේ සුවිශේෂීත්වයට ගරු කරන සංස්කෘතියක් නිර්මාණය කිරීමට අපි බලාපොරොත්තු වෙනවා. ඒ නිසාම අපගේ නායකත්ව භූමිකාවන් තුළ ස්ත්‍රී පුරුෂ විවිධත්වය හා නියෝජනය කිරීම කඩිනම් කිරීමට පැහැදිලි ඉලක්ක දක්වා ඇති අතර ඉන් බොහොමයක් සාර්ථක කර ගැනීමටද අපට හැකි වී තිබෙනවා. යුනිලිවර් ශ්‍රී ලංකා ආයතනයේ අධ්‍යක්ෂ මණ්ඩලයෙන් 55%ක් පමණ කාන්තාවන් වන අතර පසුගිය වසරේදී අපගේ කළමනාකරණ සාමාජිකයින් අතර ප්‍රථම වරට ස්ත්‍රී පුරුෂ සමතුලිතතාවයේ 40% සීමාව ඉක්මවා යාමට සමත් වුණා. 2025 වන විට එය 50-50 දක්වා ළඟා කර ගැනීමට බලාපොරොත්තු වන අප සියලු වෙනස්කම් අභිබවා සහයෝගයෙන් කටයුතු කළ හැකි පරිසරයක් නිර්මාණය කිරීමට කැපවී කටයුතු කරනවා” යනුවෙන් පවසා සිටියාය.

2021 වසරේදී සිය හොරණ කර්මාන්තශාලාවේ නිෂ්පාදන බිම වෙත සේවිකාවන් 27 දෙනෙකු බඳවා ගනිමින් සිය ඉතිහාසයේ සුවිශේෂී සංධිස්ථානයක් සනිටුහන් කල යුනිලිවර් ශ්‍රී ලංකා සමාගම පසුගිය වසර කිහිපය තුළ සිය පළමු කර්මාන්තශාලා කළමනාකාරිණිය සහ පළමු කාන්තා ප්‍රාදේශීය විකුණුම් කළමනාකාරිණිය පත් කිරීමටද කටයුතු කරන ලදී. මෙම සංධිස්ථානයන් තුළින් සාම්ප්‍රදායිකව පිරිමි පාර්ශ්වය මූලික කරගත් ක්ෂේත්‍ර සඳහා කාන්තා සහභාගීත්වය දිරිමත් කිරීමට කටයුතු කරන යුනිලිවර් සමාගමට ස්ත්‍රී පුරුෂ සමාජභාවය පිළිබඳ සාම්ප්‍රදායික මතයන් බිඳ දැමීමටද හැකිව තිබීම විශේෂත්වයකි.

තවද මාස 6ක් දක්වා දීර්ඝ මාතෘ නිවාඩු මෙන්ම සති 3ක් දක්වා පීතෘ නිවාඩු ලබා දීම තුළින් නව දෙමාපියන් වෙත සිය සහයෝගය ලබා දී ඇති යුනිලිවර් ශ්‍රී ලංකා සමාගම නව මව්වරුන් යළි සේවයට පැමිණි පසු ඔවුන්ට උපකාරක පද්ධතියක් ඇති කිරීම සඳහා ‘සහකාර ක්‍රමයක්’ (Buddy system) ද නිර්මාණය කොට ඇත.

එසේම මෑතකදී සිය ආයතනයේ සාමාජිකයින්ගේ දරුවන්ට රැකවරණය සැලසීම වෙනුවෙන් සැලසුම් සහගත පෙර පාසල් අධ්‍යාපන ක්‍රමයක් සහිත දිවා සුරැකුම් පහසුකම් සැලසීමට ද යුනිලිවර් සමාගම කටයුතු කර ඇත. මෙම සහනය ආබාධිත දරුවන් සඳහාද ලබා දීමට එම සමාගම කටයුතු කර තිබීම විශේෂත්වයක් ලෙස සඳහන් කළ හැකිය.

සිය සේවක ප්‍රජාවෙන් ඔබ්බට යමින් සිය ප්‍රමුඛතම කාන්තා සවිබල ගැන්වීමේ වැඩසටහනක් වන සෞභාග්‍යා වැඩසටහන මඟින් තම ප්‍රජාව තුළ යුනිලිවර් නිෂ්පාදන අලෙවි කිරීම හරහා කාන්තාවන් 5000කට පමණ ජීවනෝපාය සැපයීමට සමත්ව ඇත. මෙම වැඩසටහන සඳහා ‘2020 හොඳම ආයතනික පුරවැසි තිරසර සම්මාන උළෙලේදී’ ‘හොඳම තිරසාර ව්‍යාපෘති’ කාණ්ඩයේ කුසලතා සම්මානයද හිමි විය.

Visits: 37