මයික්‍රොසොෆ්ට් සමාගම ලන්ඩන් කොටස් හුවමාරුවෙහි 4%ක කොටසක් මිලදී ගැනීමට යයි

එක්සත් ජනපදයේ පිහිටි ලොව සුප්‍රසිද්ධ තාක්ෂණික සමාගමක් වන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගම ලන්ඩන් කොටස් හුවමාරුව (London Stock Exchange) අයත්  London Stock Exchange Group හි 4%ක කොටස් හිමිකාරීත්වයක් මිලදී ගැනීමට සූදානමින් සිටින බව පවසයි.

මයික්‍රොසොෆ්ට් සමාගම එම කොටස් හුවමාරුව සමගින් ඇතිකරගන්නා දත්ත විශ්ලේෂණය සහ ක්ලවුඩ් තාක්ෂණය සම්බන්ධයෙන් වන එකඟතාවක් යටතේ මෙම මුදල් ආයෝජනය සිදු කිරීම සැලසුම වී තිබේ.

විදෙස් මාධ්‍ය සඳහන් කරන ආකාරයට මෙහිදී මයික්‍රොසොෆ්ට් සමාගම මෙලෙස මිලදී ගැනීමට සූදානමින් සිටින්නේ බ්ලුක්ස්ටෝන් සමාගම සහ තොම්සන් රොයිටර්ස් සමාගම එක්ව හිමි කරගෙන තිබූ ලන්ඩන් කොටස් හුවමාරුවෙහි කොටස් ප්‍රතිශතයකි.

එසේම මෙම අත්පත් කරගැනීමත් සමගින්ම ලන්ඩන් කොටස් හුවමාරු සමූහයෙහි (London Stock Exchange Group) හි අධ්‍යක්ෂ මණ්ඩලයේ ආසනයක්ද මයික්‍රොසොෆ්ට් සමාගම වෙත හිමිවනු ඇතැයි සඳහන් වෙයි.

මෙම නව කොටස් අත්පත් කරගැනීම සම්බන්ධයෙන් ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කර ඇති මයික්‍රොසොෆ්ට් සමාගම සහ ලන්ඩන් කොටස් හුවමාරු සමූහය, තම දෙපාර්ශ්වය වසර 10ක උපායමාර්ගික සහයෝගිතාවක් සඳහා එකඟතාවට පිවිසි බව සඳහන් කර තිබේ. මෙහිදී මීළග පරම්පරාවේ දත්ත සහ විශ්ලේෂණ සහ ක්ලවුඩ් යටිතලපහසුකම් විසඳුම් වෙනුවෙන් එම සබඳතාව පවත්වනු ඇති බවත් වැඩිදුරටත් පවසා තිබේ.

එසේම මෙම කොටස් මිලදී ගැනීමත් සමගින්ම ලන්ඩන් කොටස් හුවමාරුව ලොව ප්‍රමුඛපෙළේ වඩාත් බලගතුම තාක්ෂණික සමාගමක් හා එක්වීමත් සුවිශේෂී අවස්ථාවක් බවට පත්ව තිබෙන බවත් විදෙස් මාධ්‍ය සඳහන් කරයි. දැනටමත් ලන්ඩන් කොටස් හුවමාරුවෙහි ආයෝජකයන් මයික්‍රොසොෆ්ට් සමාගමේ කොටස් මිලදී ගැනීමේ තීරණය සම්බන්ධයෙන් සතුට පළ කර ඇතැයිද පැවසෙයි.

මේ අතර ලන්ඩන් කොටස් හුවමාරුවෙහි FTSE 100 දර්ශකයේ ලැයිස්තුගත වී තිබෙන ලන්ඩන් කොටස් හුවමාරු සමූහයේ කොටස් වටිනාකම් පසුගිය සඳුදා දිනයේදී 4%කින් ඉහළ ගොස් ඇති අතර, එදින තුළ එම දර්ශකය තුළ වැඩිම ප්‍රතිශතයකින් ඉහළ ගිය සමාගම වන්නේද එම සමාගමයි.

Visits: 23