ලොව විශාලතම වාර්ෂික වාර්තා තරඟාවලියේදී කොමර්ෂල් බැංකුවට සම්මාන හතරක්

ලොව විශාලතම වාර්ෂික වාර්තා තරඟාවලිය වන MerComm ARC සම්මාන ප‍්‍රදානෝත්සවයේදී කොමර්ෂල් බැංකුවේ 2021 වාර්ෂික වාර්තාව රන් සම්මානයක් සහ ලෝකඩ සම්මානයක් සහිතව සම්මාන හතරක් දිනාගැනීමට සමත්විය.

මෙහිදී, කොමර්ෂල් බැංකුව වාර්ෂික වාර්තාවේ ‘අභ්‍යන්තර නිර්මාණය’ සඳහා රන් සම්මානයත් ‘අන්තර් කි‍්‍රයාකාරී වාර්ෂික වාර්තා’ සඳහා ලෝකඩ සම්මානයත් දිනාගත් අතර ‘ප‍්‍රාදේශීය බැංකු’ අංශයේදී ‘ලිඛිත අන්තර්ගතය’ සහ ‘සභාපතිගේ ලිපිය’ සඳහා ගෞරවණීය සම්මාන දෙකක්ද දිනාගන්නා ලදී.

වාර්ෂික වාර්තා සම්මාන ක්‍ෂේත‍්‍රයේ ‘ඇකඩමි සම්මාන’ ලෙස හඳුන්වන ARC සම්මාන මගින්, වාර්ෂික වාර්තා තුළින් සාර්ථක ලෙස සමාගමේ කතාව සන්නිවේදනය කිරීමේ දක්ෂතාවය ඇගයීමට ලක් කරමින් වාණිජ බැංකුවලට සම්මාන පිරිනමයි. මෙහිදී, නිර්මාණශීලීත්වය, පැහැදිලිභාවය, කාර්යක්ෂමතාවය සහ විශිෂ්ටත්වය සලකා බලන අතර ආයතනික ලාභය හෝ නිෂ්පාදන වටිනාකම් සලකා නොබලයි. 

‘ ඕනෑම ලයිස්තුගත සමාගමක විනිවිදභාවය, වගකීම, පාලනය සහ කාර්යසාධනය පෙන්වීම සඳහා ඉතාමත් වැදගත් සන්නිවේදන උපකරණය වන්නේ වාර්ෂික වාර්තාවයි,’ යනුවෙන් මේ පිළිබඳව අදහස් දක්වමින් කොමර්ෂල් බැංකුවේ කළමනාකාර අධ්‍යක්ෂ සහ ප‍්‍රධාන විධායක නිළධාරී සනත් මනතුංග මහතා පැවසීය. ‘කොමර්ෂල් බැංකුවේ වාර්ෂික වාර්තාව අපි සකස් කරන්නේ ඉතාමත් නිර්මාණශීලී විදිහටයි. මේ සඳහා වසර ගණනාවක් මුළුල්ලේ සම්මාන රාශියක් ලැබී තිබෙනවා. අපි විසින් දිනාගත් මෙම නවතම ARC සම්මාන මෙම ගෞරවණීය සම්මාන පෙළට වැදගත් එකතුවක්. මෙම වාර්ෂික වාර්තාව නිර්මාණය කිරීමට දායකත්වය දැක්වූ සැමට ලැබෙන ඉහළම දිරියක් ලෙස මෙම සම්මාන සැලකිය හැකියි.’   

36 වන වාර්ෂික ජාත්‍යන්තර ARC සම්මාන ප‍්‍රදානෝත්සවය අතිඋත්කර්ශවත් අයුරින් ඔක්තෝම්බර් 22 වනදා ස්පාඤ්ඤයේ බාර්සලෝනා නුවරදී පැවැත්වුණි.

Visits: 56