ලංකා බැංකුවට අයත් ප්‍රොපර්ටි ඩිවලොප්මන්ට් පීඑල්සී CSEහි ලැයිස්තුගතවීමෙන් ඉවතට

ලැයිස්තුගත සමාගමක් වූ ප්‍රොපර්ටි ඩිවලොප්මන්ට් පීඑල්සී සමාගම (PDL.N0000) එම ලැයිස්තුගත වීමෙන් ඉවත් කෙරෙන බව කොළඹ කොටස් හුවමාරුව පවසයි.

කොළඹ කොටස් හුවමාරුවෙහි ප්‍රධාන නියාමන නිලධාරී රේනුක විජයවර්ධන මහතා විසින් සියලුම ගනුදෙනු සමාගම් වෙත ලිපියක් මගින් මේ පිළිබඳව දැනුම් දී සිටියි.

ඒ අනුව 2022 ඔක්තෝබර් 27 වැනිදා සිට බලාත්මක වන පරිදි එම සමාගම මගින් කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත සමාගම්හි නිල ලැයිස්තුවෙන් ඉවත් කෙරෙන බව සඳහන් වෙයි.

පසුගිය ජූනි මාසයේ 16 වැනිදා ප්‍රොපර්ටි ඩිවලොප්මන්ට්ස් පීඑල්සී සමාගම මෙලෙස කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගතවීමෙන් ඉවත්වීම පිළිබඳ මූලික යෝජනාව සිදු කර තිබුණි.

එසේම ජුලි මාසයේ 12 වැනිදා නිවේදනයක් නිකුත් කළ ප්‍රොපර්ටි ඩිවලොප්මන්ට්ස් පීඑල්සී සමාගම තමන් 2022 ජූනි 09 වැනිදා දක්වා නිකුත් කර තිබූ සියලුම සාමාන්‍ය ඡන්ද හිමි කොටස් නැවත මිලදී ගැනීමක් සිදු කරන බව සඳහන් කර තිබුණි.

1980 ඔක්තෝබර් 15 වැනිදා ස්ථාපිත කෙරුණු මෙම ප්‍රොපර්ටි ඩිවලොප්මන්ට් පීඑල්සී සමාගම ලංකා බැංකුවට අයත් පරිපාලිත සමාගමක් ලෙස ක්‍රියාත්මකව පැවතුණි. එය 2007 දෙසැම්බර් 13 වැනිදා 2007 අංක 07 දරන සමාගම් පනත යටතේ යළිත් ලියාපදිංචි කිරිමක්සිදු කර තිබේ.

කොළඹ පිහිටි ලංකා බැංකු මූලස්ථාන ගොඩනැගිල්ලේ කළමනාකරණය මෙම ප්‍රොපර්ටි ඩිවලොප්මන්ට්ස් පීඑල්සී සමාගමේ ප්‍රධානතම මෙහෙයුම විය. එම සමාගමේ සභාපතිවරයා වූයේ ලංකා බැංකු සභාපතිවරයාය.

මෙම ප්‍රොපර්ටි ඩිවලොප්මන්ට් පීඑල්සී සමාගමේ කාර්යාලය කොළඹ 01, අංක 04 ලංකා බැංකු මාවතේ පිහිටි ලංකා බැංකු මූලස්ථාන ගොඩනැගිල්ලේ 19 වැනි මහලේ පිහිටා තිබුණි. එහෙත් අද වනවිට එම කාර්යාලය තාවකාලිකව වසා දමා තිබේ.

2022 මාර්තු 21 වැනිදා නිකුත් කෙරුණු 2021 වසර සඳහා වන එම සමාගමේ වාර්ෂික වාර්තාවට අනුව එහි කොටස් හිමිකාරීත්වයෙන් 63,064,957ක් එනම් 95.55෴ක කොටස් හිමිකමක් ලංකා බැංකුවට හිමිව තිබේ. එසේම ඉතිරි 4.43෴ක ප්‍රතිශතයෙන් වැඩි ප්‍රමාණයක් මහජන බැංකුවෙහි අනුබද්ධිත පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී සමාගම ඇතුළු තවත් හිමිකරුවන් කිහිප දෙනෙකු වෙත අයත්ව තිබුණි.

එසේම  එම දිනය වනවිට සමාගම මගින් නිකුත් කර තිබූ සමස්ත කොටස් සංඛ්‍යාව 66,000,000ක් වූ අතර, සමස්ත මහජන කොටස් හිමිකරුවන් සංඛ්‍යාව 3,408ක් ලෙස සඳහන්ව තිබේ.

Visits: 210