කොළඹ ලෝක වෙළෙඳ මධ්‍යස්ථානය සිය අභිමානවත් 25 වන සංවත්සරය සමරයි

ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වශයෙන් කේන්ද්‍රීය වූ දිස්ත්‍රික්කයේ අද්විතීය වාණිජ නිර්මාණයක් ලෙස පිහිටා ඇති කොළඹ ලෝක වෙළඳ මධ්‍යස්ථානය (World Trade Center Colombo) සාර්ථකව සිය 25 වන සංවත්සරය අභිමානයෙන් යුතුව සමරන බව පවසයි.

වර්තමානයේ කොළඹ නගරය තුළ වඩාත්ම සුවිශේෂී වූ ආකර්ෂණයට ලක්ව තිබෙන වාණිජමය මධ්‍යස්ථානයක් සහ ව්‍යාපාරික ස්ථානයක් ලෙසින් එහි පැවැත්ම ඉදිරියටත් සනිටුහන් කර තිබීම විශේෂත්වයකි.

1991 වසරේ, සිංගප්පූරුවේ ෂිංග් ක්වාන් සමූහයේ නිර්මාතෘ සහ සභාපතිවරයා වූ එස්.පී. ටාඕ මහතා ව්‍යවසායකත්වය පිළිබඳ විශාල කැමැත්තකින් පසුවිය. ව්‍යවසායකත්වය කෙරෙහි ඔහු සතුව තිබූ දැඩි උනන්දුව හා කැපවීම මත සංවර්ධනයේ ඉදිරි දැක්මක් සහිතව මෙරටේ වාණිජ සංකීර්ණයක් සංවර්ධනය කිරීමේ ඒකායන අරමුණ ඇතිව ටාඕ මහතා සැලැස්මකට මුලපුරනු ලැබීය.

ඔහුගේ අරමුණ ඉටු කර ගැනීම සඳහා ටාඕ මහතා විසින් කොළඹ කොටස් වෙළඳපොලෙහි ලැයිස්තුගත සමාගමක් වන Overseas Realty (Ceylon) Ltd සතුව තිබූ Echelon චතුරස්‍රයෙහි සංවර්ධයන නොවූ ඉඩමක හිමිකාරත්වය ලබා ගනු ලැබුවේ එහි පළමු පියවර ලෙසය.
ශ්‍රී ලංකාව තුළ ප්‍රමුඛ හා කැපී පෙනෙන විදේශීය ආයෝජකයින් අතර සිය දැක්ම ඉටුකර ගැනීමට නම්, වාණිජ සංකීර්ණය සඳහා වඩාත්ම සුදුසු සැළසුම් නිර්මාණ සංකල්පයක්, ලොව ප්‍රමුඛපෙළේ ඉදිකිරීම් සමාගමක් යොදා ගැනීම හා විශේෂයෙන් බැංකු ණය ගැනීම් නොමැතිව ඉදිකිරීම් කටයුතු සිදු කිරීම යන ප්‍රධාන කාරණා ත්‍රිත්වය කෙරෙහි ටාඕ මහතා හට මනා අවබෝධයක් තිබිණි.

ටාඕ මහතා හට ශ්‍රී ලංකාව කෙරෙහි පවතින උද්යෝගීමත් හැඟීම සහ මෙරටේ අනාගත සංවර්ධන අපේක්ෂාවන් පිළිබඳ පැවති විශ්වාසය හේතුවෙන්, අහස සිඹින මහල් 39 කින් යුත් කුළුණු ද්විත්වයක ඉදිකිරීම් කටයුතු ආරම්භ කිරීමේ සිහිනය මල්ඵල ගැන්වීමට හැකි විය. ඒ අනුව ඔහු එහි පළමු වෙඩිමුරය තබමින්, රටෙහි වේගවත් සංවර්ධනයක අපේක්ෂාව ඇතිව, ඇමරිකානු ඩොලර් මිලියන 130 ක මුදල් ආයෝජනයක් කරමින් 1992 වසරේ දී ශ්‍රී ලංකාවේ එවකට උසම ගොඩනැගිලි සැලැස්මේ ඉදිකිරීම් කටයුතු සඳහා මුල්ගල් තැබීමේ චාරිත්‍රය සිදු විය.

එම ආයෝජනය ශ්‍රී ලංකාවේ එවකට විශාලතම සෘජු විදේශ ආයෝජනය (FDI) සහ රටෙහි අනෙකුත් ඕනෑම වාණිජ සංවර්ධනයකට වඩා වසර ගණනාවක් ඉදිරියෙන් ඇති ආයෝජනයක් බවට එකල පවසා ඇත.1997 වසරේ ඔක්තෝබර් මස 12 වන දින මෙය කොළඹ ලෝක වෙළඳ මධ්‍යස්ථානය (WTC Colombo) යන නාමය ඇතිව නිල වශයෙන් උත්සවශ්‍රීයෙන් විවෘත කරනු ලැබීය.

ටාඕගේ එඩිතර වූ නායකත්වය යටතේ දශක තුනක් පුරාවට සමාගම ඔහු විසින් මෙහෙයවනු ලැබූ අතර පසුගිය වසරේදී ඒ මහතා අභාවප්‍රාප්ත වන තෙක්ම එහි සභාපතිවරයා වශයෙන් අනුපමේය මෙහෙවරක් ඉටු කරමින් කටයුතු කළේය.

අද වන විට කොළඹ අහස් කුස සිඹින කුළුණු ද්විත්වයක නවීනත්වයෙන් යුත් ආකර්ෂණීය කාර්යාල සංකීර්ණයක් සහ සුවිසල් ව්‍යාපාර හා ව්‍යාපාර ජාලා ඇතුළත්ව ලෝක මට්ටමේ සැප පහසුව එකම වහලක් යටදී අත්විඳ ගැනීම සඳහා සියලු යටිතල පහසුකම් සහිත ආයතනික පරිසරයක්, කොළඹ ලෝක වෙළඳ මධ්‍යස්ථානය නිර්මාණය කර දී ඇත.

නවීන පහසුකම් සහ සේවාවන් සැපයීමේ විශිෂ්ඨත්වය වෙනුවෙන් කොළඹ ලෝක වෙළඳ මධ්‍යස්ථානයෙහි කැපවීම විධිමත් අයුරින් සනාථ කරනු ලැබීය. ඒ සඳහා ඉහළ ඇගයීමක් ලබා ගනිමින් එය ‘ලෝක වෙළඳ මධ්‍යස්ථාන සංගමයට’ (World Trade Centers Association) අයත් ගෝලීය වශයෙන් පිළිගනු ලබන ‘ලෝක වෙළඳ මධ්‍යස්ථානය’ සහ ‘WTC’ යන වෙළඳ සන්නාමය සඳහා වන සුවිශේෂී බලපත්‍රය හිමිකර ගැනීමට සමත්ව ඇත.

‘ලෝක වෙළඳ මධ්‍යස්ථාන සංගමය’ යනු රටවල් 100 ක් පුරා විහිදී ඇති ලෝක වෙළඳ මධ්‍යස්ථාන 325 කට වැඩි ප්‍රමාණයකින් යුත් එහි ප්‍රබල ව්‍යාපාරික ජාලය සමඟ ජාත්‍යන්තර වෙළඳාමට පහසුකම් සපයන කීර්තිමත් ලෙස පිළිගනු ලබන ගෝලීය සන්නාමයකි.

තවද, මෙහි කාර්යාල සංකීර්ණය වෙත පැමිණෙන්නන් ඇතුළුව පිටතින් පැමිණෙන අමුත්තන් වෙනුවෙන් ඉහළ මට්ටමේ පහසුකම් සහ සේවාවන් තවදුරටත් අඛණ්ඩව සැපයීම සඳහා, ඊට අදාළ කොළඹ ලෝක වෙළඳ මධ්‍යස්ථානයේ ප්‍රතිසංස්කරණ කටයුතු 2021 වසරේ අප්‍රේල් මාසයේදී අවසන් කරන ලදී. ඒ අනූව එම ප්‍රජාවන්ගේ සුව පහසුව වැඩි දියුණු කිරීම සඳහා ගොඩනැගිල්ල අභ්‍යන්තරයේ පුළුල් ප්‍රතිසංස්කරණයක් සහ සියලුම ප්‍රධාන යාන්ත්‍රික, විදුලි හා ජලනල (MEP) පද්ධති නැවත පිළිසකර කිරීම ද සිදු විය.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් Overseas Realty (Ceylon) PLC හි සමූහ අධ්‍යක්ෂ හා ප්‍රධාන විධායක නිලධාරී ප්‍රවීර් සමරසිංහ මහතා මෙසේ පැවසීය. ”ලෝක වෙළඳ මධ්‍යස්ථානය ගෝලීය වශයෙන් හා හොඳින් ස්ථාවර වූ දේශීය ව්‍යාපාර සඳහා කොළඹ මධ්‍යයේ පිහිටි සුවිශේෂී සේවා ස්ථානයක් ලෙස පිළිගැනීමක් ලබා තිබෙනවා. අපි අපගේ ඉතා වැදගත් සන්ධිස්ථානයක් ලෙස, 25 වන සංවත්සරය සමරන මේ මොහොතේ අප ඉදිරියටත් කොළඹ කේන්ද්‍ර කරගත් ඔබගේ හොඳම ව්‍යාපාරික ස්ථානය ලෙස කටයුතු කරන නිසා, අපගේ ගනුදෙනුකරුවන්ට, ව්‍යාපාරික හවුල්කරුවන්ට හා පාර්ශවකරුවන්ට සහ සේවකයින් හට අපගේ කෘතඥතාව පළ කිරීමට අපි මෙය අවස්ථාවක් කර ගන්නවා. එපමණක් නොවේ, WTC (ලෝක වෙළඳ මධ්‍යස්ථානය) සන්නාමය සමඟ සම්බන්ධව පවතින සුවිශේෂි වූ ගෝලීය ගුණාත්මකභාවයන් වෙනුවෙන් අප කෙරෙහි දක්වන පිළිගැනීම, ගුණාත්මක කාර්යාල අවකාශයක් සලසා දීම සඳහා සමාගම සතු කැපවීම සහ විශිෂ්ඨත්වය පිළිබඳව මනාව පිළිබිඹු කරනවා.”

අද වන විට කොළඹ ලෝක වෙළඳ මධ්‍යස්ථානය තුළ කොළඹ කොටස් හුවමාරුව, විනිමය සුරැකුම්පත් කොමිෂන් සභාව, ආයෝජන මණ්ඩලය, Huawei Technologies, Glaxo SmithKline, Earnest & Young Global Deliver Services, Lanka IOC, Mitsubishi Corporation, Deloitte Consulting, Valible One, Bharti Airtel, චයිනා හාබර් ඉංජිනේරු සමාගම, Asia Broadcasting Corporation, වැනි ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරික භවතුන් තම සේවාවන් පවත්වාගෙන යනු ලබයි.

කොළඹ ලෝක වෙළඳ මධ්‍යස්ථානයේ හිමිකරු, කළමනාකරු සහ සංවර්ධකයා ලෙස,Overseas Realty (Ceylon) PLC සමාගම, සිය දේපළ සහ වෙළඳාම් සංවර්ධනය සඳහා පුළුල් හැකියාවක්, දැනුමක් සහ පළපුරුද්දක් සහිතව වාණිජ වෙළඳපොලෙහි සියල්ලට ඉහළින් ආධිපත්‍යය දරමින් කටයුතු කරයි.

කොළඹ නගරය කේන්ද්‍ර කරගත් නේවාසික සහ වාණිජ යන දෙඅංශයේම විවිධ කාර්යයන් සඳහා එකාබද්ධව ඉදිකරමින් පවතින තවත් විශාලතම සංවර්ධන ව්‍යාපෘතියක් වන Havelock City හි සංවර්ධකයා ද වන්නේ මෙම සමාගමයි.

Visits: 125