මුදල් මණ්ඩලයේ හිටපු ලේකම් දවුලගල මහ බැංකු නියෝජ්‍ය අධිපති ධුරයකට පත් කෙරේ

ශ්‍රී ලංකා මහ බැංකුවෙහි සහකාර අධිපතිවරියක මෙන්ම මුදල් මණ්ඩලයේ ලේකම්වරිය ලෙස කටයුතු කළ කේ.එම්.ඒ.එන්. දවුලගල මහත්මිය එහි නව නියෝජ්‍ය අධිපතිවරියක ලෙස පත් කර ඇතැයි මහ බැංකුව නිවේදනයක් මගින් සඳහන් කරයි.

ඒ අනුව පසුගිය ඔක්තෝබර් 07 වැනිදා සිට බලාත්මක වන පරිදි මුදල් ඇමතිවරයාගේ අනුමැතිය සහිතව මුදල් මණ්ඩලය විසින් මෙම නව පත් කිරීම සිදු කර ඇතැයි මහ බැංකුවෙහි මානව සම්පත් දෙපාර්තමේන්තුව මෙම නිවේදනය මගින් පවසා සිටියි.

ශ්‍රී ලංකා මහ බැංකුවෙහි වසර 31කට අධික සේවාකාලයක් සම්පූර්ණ කර ඇති දවුලගල මහත්මිය මීට පෙර මහ බැංකුවෙහි බැංකු නොවන මූල්‍ය ආයතන අධීක්ෂණ හා නියාමන, සාර්ව විචක්ෂණශීලතා අධ්‍යයන, මූල්‍ය, ජාත්‍යන්තර මෙහෙයුම්, අවදානම් කළමනාකරණ, ප්‍රාදේශීය සංවර්ධන, මානව සම්පත් කළමනාකරණ සහ පුහුණු හා සංවර්ධන යන ක්ෂේත්‍රයන්හි විවිධ තනතුරු දරා තිබේ.

එසේම ඇය ගණකාධිකාරී සහ බැංකු නොවන මූල්‍ය ආයතන අධීක්ෂණ හා මූල්‍ය පද්ධති ස්ථායිතා යන දෙපාර්තමේන්තුවල අධ්‍යක්ෂ ලෙසත් සේවය කර තිබේ. එහිදී ඇය බැංකු නොවන මූල්‍ය ආයතන අංශයේ නීතිමය රාමුව සහ පාලනය සවිමත් කිරීම වෙනුවෙන් දායකත්වය සැපයූ බවත් හ බැංකුව පවසයි.

මෙලෙස මහ බැංකුවෙහි නියෝජ්‍ය අධිපති ලෙස පත් කිරිමට පෙරාතුව දවුලගල මහත්මිය සාර්ව විචක්ෂණතා අධ්‍යයන හා බැංකු අධ්‍යයන කේන්ද්‍රය යන දෙපාර්තමේන්තු භාර සහකාර අධිපති ලෙස හා මුදල් මණ්ඩලයේ ලේකම් ලෙස කටයුතු කළාය. එසේම ඇය මුදල් මණ්ඩල අවදානම් අධීක්ෂණ කමිටුවේ, මුදල් මණ්ඩල උපදේශන විගණන කමිටුවේ සහ ආචාර ධර්ම කමිටුවේ ලේකම් ලෙසද කටයුතු කර තිබේ.

මීට අමතරව දවුලගල මහත්මිය මුදල් හා ක්‍රම සම්පාදන අමාත්‍යාංශය වෙත මුදා හැර තිබූ අතර, එහි රාජ්‍ය ව්‍යාපාර දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ලෙසද කටයුතු කර ඇත. එම තනතුර දරන කාලය තුළ දවුලගල මහත්මිය ලංකා බැංකුවෙහි මහා භාණ්ඩාගාරය නියෝජනය කරමින් නිල බලයෙන් පත්වන අධ්‍යක්ෂවරියක ලෙසත්, සේවා නියුක්තිකයන්ගේ භාර අරමුදල් මණ්ඩලයෙනි සාමාජිකාවක ලෙසත් කටයුතු කර ඇතැයි මහ බැංකුව පවසයි.

මේ අතර දවුලගල මහත්මිය ශ්‍රී ලංකා ගිණුම් හා විගණන ප්‍රමිති සමීක්ෂණ මණ්ඩලයේ සභාපතිනිය ලෙසද කටයුතු කරයි.

ඒ අනුව මෙම නව පත් කිරීමත් සමගින්ම මහ බැංකුවෙහි අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතාට පසුව නියෝජ්‍ය අධිපති ධුර සඳහා කාන්තාවන් දෙදෙනකු පත්ව තිබේ. ඉන් එක් අයෙකු යෙවෙට් ප්‍රනාන්දු මහත්මිය වන අතර දවලගල මහත්මිය අනෙක් නියෝජ්‍ය අධිපතිනියයි.

Visits: 69