කොමර්ෂල් බැංකුව සහ PAYable වෙතින් ස්මාර්ට් දුරකතනයෙන් කාඩ් ගෙවීම් පිළිගැනීමට ක්‍රමවේදයක්

වෙළෙඳුන්ට ඉතාමත් පහසුවෙන් සහ අඩු වියදමින් කාඞ් ගෙවීම් ගනුදෙනු පිළිගැනීම සඳහා පහසුකම් සලසමින් ඇන්ඩ්‍රොයිඞ් ස්මාර්ට් ජංගම දුරකතන තුළින් කාඞ් පිළිගැනීමේ ක‍්‍රමවේදය හඳුන්වාදුන් ශ‍්‍රී ලංකාවේ පළමු බැංකුව බවට කොමර්ෂල් බැංකුව පත්වී තිබේ.

මෙම අඩු පිරිවැය නවීන තාක්ෂණය මගින් ශ‍්‍රී ලංකාවේ ඩිජිටල් ගෙවීම් කර්මාන්තය දැවැන්ත සංවර්ධනයකට ලක්වනු ඇතැයි බැංකුව පවසයි.   

ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම ඩිජිටල් ගෙවීම් විසඳුම් සම්පාදකයෙකු වන PAYable ප‍්‍රයිවට් ලිමිටඞ් සමාගම සමග ඒකාබද්ධ වෙමින් මෙම පහසුකම බැංකුව විසින් ලබාදෙන බවත් ගෙවීම් පද්ධතිය PAYableSoftPOS හෙවත් PAYableTAP සමග ඒකාබද්ධ කර තිබෙන බව කොමර්ෂල් බැංකුව සඳහන් කරයි.

මෙම පද්ධතිය මූල්‍ය අංශයේ ඩිජිටල් ගෙවීම් පද්ධති සම්පාදනය කරන තාක්ෂණික සමාගමක් වන Worldline සහ Mastercard ඒකාබද්ධව සංවර්ධනය කර ඇත.

මෙම විසඳුම මගින්  ඕනෑම NFC – සක‍්‍රීය ඇන්ඩ්‍රොයිඞ් ස්මාර්ට් දුරකතනයක්ම ගෙවීම් පිළිගන්නා යන්ත‍්‍රයක් බවට පරිවර්තනය කරයි. මෙම පහසුකම ලබාගැනීම සඳහා වෙළෙඳුන් PAYableTAP ඇප් පහසුකම ඩවුන්ලෝඞ් කරගෙන කොමර්ෂල් බැංකුව සමග ලියාපදිංචි විය යුතු අතර පසුව ජංගම උපකරණයේ තිරයේ ක්‍රෙඩිට් කාඞ්පත හෝ ඩෙබිට් කාඞ්පත ස්පර්ශ කර ඉතාමත් පහසුවෙන් ගනුදෙනුව සම්පූර්ණ කළ හැකිවේ. 

PAYableTAP භාෂා ත‍්‍රිත්වය මගින්ම සේවාව ලබාදෙන අතර සෑම ගනුදෙනුවකින්ම පසුව ඩිජිටල් රිසිට් පතක් ලබාදෙන නිසාත් එය කෙටි පණිවුඩයක් හෝ ඊ-මේල් පණිවුඩයක් ලෙස ලබාගත හැකි නිසාත් මුද්‍රණය කළ රිසිට් පතක් නිකුත් කිරීමට අවශ්‍ය නොවේ. මෙම සුරක්ෂිත ගෙවීම් පිළිගැනීමේ ක‍්‍රමවේදය තුළින් බොහෝ ක්ෂුද්‍ර සහ සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යවසායකයින්ට ප‍්‍රතිලාභ ලබාගත හැකි බවත් ඒ තුළින් ඔවුන්ගේ ව්‍යාපාර සංවර්ධනය කරගත හැකි බවත් බැංකුව සඳහන් කරයි. 

Visits: 73