ජාත්‍යන්තර තුළ ශ්‍රී ලංකාවට වටිනාකමක් ලබා දීමට SLIM ජාතික සන්නාමකරණයට නායකත්වය දෙයි!

ජාත්‍යන්තරය තුළ ශ්‍රි ලංකාව ජාතික සන්නායමයක් බවට පත් කිරිම සදහා සිය පූර්ණ දායකත්වය ලබාදෙන  බව ශ්‍රී ලංකා අළෙවිකරණ ආයතනය (SLIM) පවසයි. මේ සම්බන්ධයෙන් දැනුවත් කිරීම සඳහා පසුගියදා කොළඹ පිහිටි SLIM පාසැලේදී පැවැත්වුණු මාධ්‍ය හමුවකදී මෙම කරුණු සඳහන් කෙරිණි.

මෙම වැඩසටහන Nation Branding හෙවත් ජාතික සන්නාමකරණය ලෙස හඳුන්වා දී තිබේ. SLIM සභාපති නුවන් ගමගේ මහතා සහ ජාතික සන්නාමකරණ ව්‍යාපෘතියේ සභාපතිනී කවී රාජපක්ෂ මහත්මියගේ ප්‍රධානත්වයෙන් මෙම මාධ්‍ය හමුව පැවැත්වුණි.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වන SLIM සභාපති නුවන් ගමගේ මහතා, ලොව බොහෝ රටවල් දියුණුව කරා ගමන් කර ඇත්තේ ජාතික සන්නාමකරණය තුළින් බව පවසා සිටියේය. එහිදී සියළු දේශපාලන පක්ෂ සිය ප්‍රතිපත්ති ප්‍රකාශයන් තුළ ජාතික සන්නාමකරණය සදහා ප්‍රමුඛතාවයක් ලබාදිය යුතු බව පෙන්වා දෙන ඔහු සදහන් කරන්නේ මේ සදහා නායකත්වය ලබාදීමට සියළු දේශපාලන පක්ෂ සදහා ශ්‍රී ලංකා අළෙවිකරණ ආයතනය සහය වන බවද සඳහන් කළේය..

විශේෂයෙන්ම ජාතික සන්නාමකරණය අගයනු ලබන Brand Finance (බ්‍රෑන්ඩ් ෆයිනෑන්ස්) දර්ශකයේ ලොව සියළු රටවල් අතුරින් 68 වන ස්ථානයේ පසු වූ ශ්‍රී ලංකාව, මේ වන විට 74 දක්වා පහත බැස තිබෙන අතර එය ඉහල නංවා ලොව රටවල් අතර ශ්‍රී ලංකාව සන්නාමයක් බවට පත් කිරීමට සියළු ශ්‍රී ලාංකිකයන්ගේ අවධානය යොමු විය යුතු බවද ශ්‍රී ලංකා අළෙවිකරණ ආයතනයේ සභාපතිවරයාගේ අදහස වී තිබේ.

මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක් වූ සභාපතිවරයා, “ ඩොමිනිකන් ජනරජය, භූතානය වැනි රටවල් ජාතික සන්නාමකරණය තුළින් ඉතා කෙටි කාලයක් තුළ මහගු ප්‍රතිපල අත්කරගත්තා. ඒ නිසා ආයෝජන, සංචාරක, සංස්කෘතිකමය වැනි අංශ ගණනාවක දියුණුවක් අත්කරගන්න ඒ රටවල් වලට පුළුවන් වුණා. ලෝකේ කොහේවත් නැති වටිනාකම් අපේ රට තුළ සහ අපේ ජනතාව තුළ තිබෙනවා. මෙන්න මේ අගයන් ජාත්‍යන්තරය තුළ අපි පෙන්වා දීලා ශ්‍රී ලංකාව වටිනා රටක් බව පෙන්වීමට ජාතික සන්නාමකරණය තුළින් හැකි වෙනවා. දිගු කාලීන මෙම වැඩපිළිවෙල සදහා නායකත්වය ලබාදී කටයුතු කරන්න විශේෂඥ දැනුමින් සන්නද්ධ අළෙවිකරුවන් අපි එක්ක ඉන්නවා. යනුවෙන් පවසා සිටියේය.

මෙම හමුවේදී කරුණු දැක්වූ ශ්‍රි ලංකා අළෙවිකරණ ආයතනයේ ජාතික සන්නාමකරණ ව්‍යාපෘතියේ සභාපතිනී, කවී රාජපක්ෂ මහත්මිය, මේ අවස්ථාවේ රට මුහුණ දී තිබෙන ආර්ථික ප්‍රශ්න විසදීම සදහා සුදුසුම දිගු කාලීන විසදුම ජාතික සන්නාමකරණය බව පවසා සිටියාය.

ශ්‍රී ලංකාව වටිනාකම් බහුල මිනිසුන් ජීවත් වන රටක් වුවත් ජාත්‍යන්තරය ඉදිරියේ අපගේ වටිනාකම්වලට නිසි අවධානයක් නොමැති බව ඇය පෙන්වා දුන්නාය.

එහිදී වැඩිදුරටත් කරුණු දැක්වූ ඇය, “ජපානය, සිංගප්පූරුව, ජර්මනිය වැනි ලොව දියුණු රටවල් ගැන ලොව ජනතාවගේ මනසේ ඇතිවෙන ධනාත්මක ආකල්පය ශ්‍රි ලංකාව වැනි වටිනාකම් රැසක් තියන රටක් සදහා හොදින්ම කරන්න පුළුවන්. ශ්‍රි ලංකා අළෙවිකරණ ආයතනය හැටියට අපි සතුව පළපුරුදු අළෙනවිකරුවන් සිටිනවා. ශ්‍රී ලංකා අළෙවිකරණ ආයතනය හැටියට ජාතික සන්නාම කරණය අපි අපේ වගකීමක් බවට පත් කරන් සිටිනවා.” යනුවෙන් පැවසුවාය.

මේ අතර ලොව වෙනත් දියුණු රටවල් ජාතික සන්නාමකරණය සදහා වෙනමම ආයතන පිහිටුවලා ඇති බව පෙන්වා දුන් ඇය, ශ්‍රි ලංකා අළෙවිකරණ ආයතනය යනු පාර්ලිමෙන්තු පණතකින් සම්මත වූ ශ්‍රී ලංකාවේ  ආර්ථිකය සමෘද්ධිමත් කිරීමේ වගකීම පැවරුන ආයතනයක් බැවින්, එම ජාතික සන්නාමකරණයට නායකත්වය දීම සිය වගකීමක් බවද පැවසුවාය.

ඒ අනුව මෙම කටයුත්ත සඳහා තමන් සමග එකතු වන ලෙස ශ්‍රි ලංකාව පුරා විසිරි සිටින අළෙවිකරුවන්, වෘත්තියවේදින් ඇතුළු සියලු දෙනාගෙන් ඉල්ලීමක් කරන බවත් ඇය වැඩිදුරටත් සඳහන් කළාය.

Visits: 54